slc
Home   |    News
ජනවාරි 17, 2021
අවාසියට තියෙන තරගයේ තිරිමාන්න දුටු වාසිය

sinhala editor

Chamila Karawita reporting from Galle

පළමු ඉනිම ලකුණු 135 කට සීමා විය. දෙවැනි ඉනිම ආරම්භයේදීම ඉනිමක පරාජයෙන් ගැලවීමටම ලකුණු 286 ක දැවැන්ත ඉලක්කයකි. ඒ සමඟම තරගය නිමා වීමට දින 3 කට අඩුව තිබුණේ තෙවැනි දිනය ආරම්භයේදී එංගලන්ත පිල ක්‍රීඩා කරන පන්දුවාර 24 පමණි. මේ සියල්ලම ශ්‍රී ලංකා කණ්ඩායමේ අවාසියටය.

එහෙත් ධෛර්යවන්තව පිති හැසිර වූ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිම පන්දුවාර 136.5 කට වඩා ක්‍රීඩා කළේය. එහි ප්‍රථිඵලයක් ලෙසින් ඉනිමක ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටි එංගලන්තකණ්ඩායමට සිව්වැනි ඉනිමේදීත් පන්දුවට පහර දීමට සිද්ධ වී තිබේ. කණගාටුවට කරුණ වන්නේ ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලබාගත යුතු ඉලක්කය ලකුණු 74 ක් වීමයි.

අභියෝගාත්මක දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා පිල සැලසුමක් ඇතුව පන්දුවට පහර දුන්නේය. ප්‍රථමයෙන්ම සාර්ථක කරගත යුතුව තිබූ ඉනිමකින් පරාජයෙන් බේරීමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 ක් පමණක් දැවී රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. එහි වැඩි ගෞරවයක් ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න වෙත හිමිවිය යුතුය.

ඉදිරි පෙළ වටා එතුණු තිරිමාන්නගේ ලකුණු 111 ඉනිම නිසා ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් හෙවත් ලකුණු 359 ක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවිය. ඒ වෙනුවෙන් කුසල් පෙරේරා ලබාගත් ලකුණු 62 ක සහ ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු 71 ක ඉනිම අමතක කළ නොහැක. කෙසේ වෙතත් ජයග්‍රාහී ඉලක්කය හඹා යන එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 14 ක් ඇතුළතදී දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. කොටින්ම කිවහොත් එංගලන්ත පිතිකරුවෝ සිව්වැනි දින සවස් යාමයේ පන්දුවට පහර දුන්නේ දැඩි අසීරුතාවයකිනි.

එහෙත් තරගය පිළිබඳව අදහස් දක්වන ශතක ලාභී තිරිමාන්න පවසන්නේ තරගය බොහෝ දුරට තම කණ්ඩායමෙන් ගිලිහී ගොස් ඇතත් පස්වැනි දින උදෑසනදීම කඩුල්ලක් දෙකක් දවා ගැනීමට හැකි වුවහොත් ප්‍රතිඵලය මුළුමනින්ම වෙනස්වීමේ හැකියාව පවතිනු ඇති බවයි.

“පළමු ඉනිමේදී අපි පන්දුවට පහර දුන්න විදියත් එක්ක තරගය මේ වෙනකොට තියෙන්නේ අපේ පැත්තට නොවෙයි. පළමු ඉනිමේදී අපි දැවී ගිය බැලුවහම තණතීරුවේ වැරැද්දක් නිසා නොවෙයි, අපි එල්ල කරපු වැරදි පහරවල් නිසයි. ඒ අනුව අපි හිතා ගත්තේ දෙවැනි ඉනිමේදී වගකීමක් අරගෙන ක්‍රීඩා කරන්න. මේ තණතීරුවේ පන්දුවට පහර දෙනවා කියන එකත් ලේසි නෑ. අපේ සැලසුම වුණේ අඩුම තරමේ ලකුණු 150 ක විතර ඉලක්කයක් ඔවුන්ට ලබා දෙන්න. ඒ ළඟටම අපිට එන්න පුලුවන් වුණා. ඒක නිසා හෙට දවස ආරම්භයේදී කඩුල්ලක් දෙකක් දවා ගන්න පුලුවන් වුණොත් කියන්න බෑ” යි තරගය පිළිබඳව තිරිමාන්න අදහස් දක්වා සිටියේය.

අසීරුතා මධ්‍යයේ පන්දුවට තිරිමාන්න සහ කුසල් ජනිත් පළමු කඩුල්ල සඳහා රැස් කරන ලද ලකුණු 101 සඳහා පන්දු 226 ක්, මෙන්ඩිස් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 54 සඳහා පන්ද 135 ක්ද වැය කළහ. එතැනින් නොනැවතුණු තිරිමාන්න ඇන්ජලෝ මැතිව්ස් සමඟ පන්දු 116 කදී ලකුණු 52 ක් රැස් කරමින් ධෛර්යවන්ත ලෙස පිති හැසිරවූහ.

“ඇත්තම කියනවා නම් සිව්වැනි දිනයේ පන්දුවට පහර දෙන එක හරි අමාරුයි. එහෙම තමයි සිව්වැනි දිනයේදී සාමාන්‍ය ගාල්ල තණතීරුව. එතැනදි මමයි ඇන්ජලෝයි (මැතිව්ස්) බැලුවේ කොහොම හරි ලකුණු අතරට එන්න. අපි ගොඩක් වෙලාවට මාරුවෙන් මාරුවට අවශ්‍ය වේගය රඳවා ගත්තා. ඒ අතර එයාලා දුර්වල පන්දුත් අපිට ලබා දුන්නා. ඒවගෙන් තමයි මම ගොඩක් ලකුණු ලබා ගත්තේ”යි ක්‍රීඩා කළ ඉනිම ගැන තිරිමාන්න අදහස් දැක්වීය.

වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටි හැඩ කාර වමත් පිතිකරුවා, “ඇත්තටම සතුටු දනවන අවස්ථාවක්. මොකද කියනවා නම් මට මීට කළින් ක්‍රීඩා කළ ටෙස්ට් තරග වලදී ලකුණු අතරට පැමිණීමට නොහැකි වුණු නිසා. නමුත් වොන්ඩරස්හි ක්‍රීඩා කර තරගයෙන් පස්සේ මම දැනගෙන  හිටියා මම හොඳ පන්දුවට පහර දුන්නා කියලා. එතැනදි මට අවශ්‍ය වුණේ එය දීර්ඝ ඉනිමකට පරිවර්තනය කරගන්න. මම හිතනවා ඒක අද දිනේදී මම කළා කියලා” යනුවෙනි.

එම විශිෂ්ඨ ඉනිම ක්‍රීඩා කිරීමේදී අනුගනමය කළ උපාය මාර්ග පිළිබඳව තිරිමාන්න දැක්වූවේ මෙවැනි අදහසකි. “සැලසුම තිබුණේ දඟ පන්දු යවන්නන්ට ටිකක් හයියෙන් ගහන්න. මොකද තණතීරුව එන්න එන්නම මන්දගාමී වුණු විතරක් නොවෙයි ඉපිලෙන්නත් පටන් ගත්ත නිස. ඒ වගේමයි මේ විකට් එකේ වැදගත් වෙන්නේ හයියෙන් පන්දු යවන එක. සැලසුම් කරපු විදියට කඩුල 3 ක් දවා ගන්න අපිට පුලුවන් වුණා” යි පවසන තිරිමාන්න, “හැබැයි එයාලා තවම ලකුණු 40 ක් වත් ගහලා නෑ, එක කඩුල්ලක් දෙකක් දවා ගන්න පුලුවන් වුණොත් උදේම… මම හිතන්නේ එයාලගේ බැටිං ගොඩක් අඩුයි. ඊළඟට පන්දුවට පහර දෙන්න එන්න ඉන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයින්. අපි මීට කළින් ඉන්දියාව සමඟ තරගයකදී එයාලව එකසිය 110 ක් වගේ ප්‍රමාණයකට දවාගෙන තියෙනවා. ඒක නිසා කියන්න බෑ”යි ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතතාවය පිළිබඳව ඉඟි කරමින් අදහස් දක්වා සිටියේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest