slc
logo
Home   |    News
ජනවාරි 24, 2021
එංගලන්තය කරකවා ඇතහැරි ඇඹුල්දෙණිය වාර්තාවක් අභියස

sinhala editor

Chamila Karawita reporting from Galle

ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්වීමත් සමඟ එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට සංචාරකයින්ගේ කඩුලු 9 ක් ලකුණු 339 ක් ඇතුළතදී දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24 දා) හැකියාව ලැබිණ. නම් දැරූ සියළු පිතිකරුවන් දැවී ගොස් තිබෙන මොහොතක එංගලන්ත පිලට ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යෑමට අවශ්‍ය ලකුණු 42 ක ලබා ගැනීම සඳහා ඉතිරිව ඇත්තේ අවසන් කඩුල්ලේ සබඳතාව පමණි.

ෂෝට් ලෙග්හි පන්දු රැකි ඕෂද ප්‍රනාන්දුගේ සුපිරි පන්දු රැකීම හේතුවෙන් තවත් ද්විත්ව ශතකය පෙනි පෙනී තිබියදී පිටියෙන් ඉවත්වීමට ජෝ රූට්ට සිදුවිය. පා ඉන්න වෙතට ආ පන්දුව මිඩ් විකට් කළාපය වෙත යොමු කිරීමේදී කඩුල්ල අසළ පන්දු රැකි ඕෂද අදහාගත නොහැකි අයුරින් රැකගත් වහාම කඩුල්ලට එල්ල කළේය. ඒ වන විටත් සීමා ඉරෙන් ඉදිරියට එංගලන්ත නායකයා පැමිණ සිටීම නිසා පැය 8 කුත් මිනිත්තු 10 ක් පුරා රැස් කරන ලද ලකුණු 186 ක ඉනිමද නිමාවට පත්විය. පන්දු 309 කදී වාර්තා වුණු රූට්ගේ ඉනිම නිමා වීමත් සමග තෙවැනි දිනට තරගය නිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ලකුණු 66 කට කඩුලු 5 ක් දවා ගනිමින් කළින් පැවැති හොඳම පන්දු යැවීම, ලකුණු 132 කට කඩුලු 7 ක් වශයෙන් යාවත්කාලීන කර ගැනීමට ඇඹුල්දෙණිය සමත්විය. එම දක්ෂතාවයත් සමඟ ගාල්ල ක්‍රීඩාංගණයේදී  ඉනිමක වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන්  අතර සම තැන් ගත් වමත් පන්දු යවන්නා, එංගලන්ත පිලේ අවසන් කඩුල්ල දවා ගැනීමට සමත් වුවහොත් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාගේ වාර්තාව සින්නක්කර අයිතිකරු වනු ඇත.

ඇඹුල්දෙණිය දවා ගත් කඩුලු 7 න් 5 ක් දවා ගැනීම සඳහා උඩ පන්දු රැක ගත් ළහිරු තිරිමාන්නද විරළ වාර්තා2 කට අද දිනයේ හිමිකම් කීවේය. එහිදී එකම පන්දු යවන්නකුගේ උඩ පන්දු 5 ක් රැක ගත් පන්දු රකින්නාගේ වාර්තාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගැනීමේ වාර්තාව වේ. එම දක්ෂතාවය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සංසන්දනය කිරීමේදී උඩ පන්දු 5 බැගින් රැක ගත් පන්දු රකින්නන් 12 දෙනෙකු සිටින අතර ඇඹුල්දෙණියට මෙන්ම මෙම වාර්තාව තමාගේ තනි අයිතියට ගැනීමට තිරිමාන්නට තවමත් අවස්ථාව පවතිනු ඇත.

පිට පිටම දෙවැනි වතාවටත් දඟ පන්දු යවන්නන් හමුවේ නොසැළුණු රූට් අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ 19 වැනි ශතකය වාර්තා කරගත්තේය. එල්ල කරන ලද හතරේ පහර 18 න් වැඩි සංඛ්‍යාවක් ස්වීප් පහර සහ රිවර් ස්වීප් පහර වලින් ලබා ගත් රූට් ඒ හැරුණු විට බොහෝ විට දඟ පන්දු යවන්නන්ට පසුපස පාදයෙන් ක්‍රීඩා කිරීම කැපී පෙනුණි.

එංගලන්තය වෙනුවෙන් මෙතෙක් ටෙස්ට් තරග වලදී වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට රූට්ට අද ක්‍රීඩා කරන ලද ඉනිම දායක විණ. 99 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන රූට් රූට් ලකුණු 8238 ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය 49.62 ක් රඳවා ගනිමිනි. ඔහුට ඉදිරියෙන් ඇලෙස්ටෙයාර් කුක් (12472), ග්‍රැහැම් ගුච් (8900) සහ ඇලෙක් ස්ටුවර්ට් (8463) පසු වුවත් ඒ සෑම පිතිකරුවකුගේ සාමාන්‍ය රූට්ගේ සාමාන්‍යයට වඩා අඩු අගයක් ගැනීම විශේෂත්වයකි.

පළමු ටෙස්ට් තරගයේදීද ද්විත්ව ශතකයක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ එංගලන්ත නායකයාගේ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් දිවා ආහාරය වන විට ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 181 ක් දක්වා ඉහළ දමන ලද්දේ පළමු ඉනිම අභිබවා යෑමට තවත් ලකුණු 200 ක් පමණක් අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරමිනි.

තෙවැනි දිනය ඇරැඹි ජෝ රූට් සහ ජොනී බෙයාර්ස්ටෝ දඟ පන්දු යවන්නන් හමුවේ විශ්වාසදායක ලෙස පන්දුවට පහර ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත වූ නමුත් ඊට හරස් වුණු ඇඹුල්දෙණිය බෙයාර්ස්ටෝගේ කඩුල්ල දවා ගත්තේය. ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරුවරයා එය නිෂ්ප්‍රභා කර සිටි බැවින් එම තීරණය අභියෝගයට ලක් කෙරිණ. පුණරූපන වලට අනුව එය පා ආවරණයේ වැදීමට පෙර පිත්තේ වැදී ගිය උඩ පන්දුවක් බවට පත්ව තිබූ හෙයින් ලබා දුන් තීරණය වෙනස් කිරීමට පිටියේ විනිසුරුට සිදුවිය.

පිටියට පැමිණි වේලාවේ සිට ඇඹුල්දෙණියගේ තියුණු දඟ කැවීම හමුවේ දැඩි අසීරුතාවයකට පත්වුණු ඩෑන් ලෝරන්ස් ඒ පීඩනයෙන්ම ස්ලිප් හි පන්දු රැකි ළහිරු තිරිමාන්න වෙත උඩ පන්දුවක් දී දැවී ගියේය. එංගලන්ත ඉදිරි පෙළ දැවී ගිය කඩුලු 4 ම තමන් සතු කර ගත් ඇඹුල්දෙණිය සෑම් කරන්ගේ කඩුල්ලද දවා ගනිමින් ටෙස්ට් තරග දිවියේ කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් තෙවැනි අවස්ථාව සනිටුහන් කර ගත්තේය. මීට පෙර දකුණු අප්‍රිකාවේදී සහ සිම්බාබ්වේදී කඩුලු 5 ක් දවාගැනීමට සමත්ව සිටින ඇඹුල්දෙණිය ශ්‍රී ලංකාවේදී එවැනි දස්කම් දක්වන ලද පළමු අවස්ථාව වශයෙන් මෙය සටහන් විය.

හවුල්කරුවන් දෙදෙනකුම දවා ගැනීමට වමත් පන්දු යවන්නා සමත් වද්දී රූට් දිගටම තම ආක්‍රමණශීලී පිතිකරණයේ නියැළිණ. ඉතාමත් නිවැරදි විනිශ්චයෙන් යුතුව පන්දුවට පහර දුන් රූට් අවශ්‍ය විටෙක හිස පහත් කොටද, තවත් විටෙක දෙපසටම වූ ස්වීප් පහර වලින්ද ලකුණු රැස් කළේ දඟ පන්දුවට මුහුණදීමේදී  තමන් කොතෙක් දක්ෂද යන්න තවත් වතාවක් පිළිබිඹු කරමිනි. ඩිල්රුවන්ගේ පන්දුවකට ලකුණක් සඳහා පැති මාරු කර ගත් එංගලන්ත නායකයා මුහුණ දුන් 139 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කර ගත්තේය.

රූට්ගේ අඩි පාරේ ගිය ජොස් බට්ලර්ද අද දිනයේදී සිය 18 අර්ධ ශතකය වාර්තා කර ගත්තේය. දිනයේ සමස්ථයක් ගෙන බැලීමේදී දිවා ආහාරයෙන් පසු එංගලන්ත ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල වුණු බවක් දිස්වුණු නමුත් කලබලයක් නොපෙන්වූ රූට්-බට්ලර් දෙපළ පස්වැනි කඩුල්ලට ලකුණු 97 ක් එක් කළහ. ඇඹුල්දෙණියගේ පන්දුවකට එල්ල කරන ලද හතරේ පහරින් අර්ධ ශතකය ඉක්මවා ගිය එංගලන්ත කඩුලු රකින්නා කෝඩු කාර රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට ගැසූ රිවර් ස්වීප් පහර වැරදී යෑමෙන් තම ඉනිම ලකුණු 55 කදී හමාර කර ගත්තේය. එල්ල කරන ලද රිවර් ස්වීප් පහර සපත්තුවේ වැදී උඩ පන්දුවක් ලෙස ඕෂද ප්‍රනාන්දු රැක ගත් නමුත් තම මංගල කඩුල්ල ලබා ගැනීමේ සතුට සැමරීම, තෙවැනි විනිසුරුගේ තීන්දුව එන තෙක් බලා සිටීමට රමේෂ් මෙන්ඩිස්ට සිදුවිය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar