slc
Home   |    News
ජනවාරි 23, 2021
එංගලන්ත ආරම්භය ඇඹුල්දෙණිය බිඳ දමයි

sinhala editor

Chamila Karawita reporting from Galle

ලකුණු 381 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 05 ක් ඇතුළතදී දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් තෙවැනි කඩුල්ලට එක්වූ නායක ජෝ රූට් සහ ජොනී බෙයාර්ස්ටෝ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වීම මත දෙවැනි දිනය වූ අද (23 දා) ට තරගය අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 98 ක් වශයෙන් සටහන් විය.

8 වැනි පන්දුවාරයේදී පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ජෝ රූට් තරමක ප්‍රවේගකාරී ඉනිමක නිරත වෙමින් හතරේ පහර 10 ක් සමඟ පන්දු 77 කදී ලකුණු 67 ක්ද ජොනී බෙයාර්ස්ටෝ පන්දු 65 කදී ලකුණු 24 ක්ද ලබා එංගලන්ත පිල අසීරුවෙන් ගලවා ගත්හ. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිල අභිබවා යෑමට  තවත් කඩුලු 8 ක් තුළ ලකුණු 283 ක් ලබා ගත යුතුවේ.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට එංගලන්ත දඟ පන්දු යවන්නන් අසමත් වුවද 6 වැනි පන්දුවාරයේදී සිය කඩුලු දඩයම ඇරඹූ ලසිත් ඇඹුල්දෙණිය ප්‍රථමයෙන්ම ඩොම් සිබ්ලිව දවා ගත්තේය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බව ප්‍රධාන විනිසුරු ලෙසින් කටයුතු කළ රුචිර පල්ලයගුරුගේ මහතා සංඥා කළද ඉන් සෑහීමකට පත් නොවුණු සිබ්ලේ තෙවැනි විනිසුරුගේ සහාය පැතීය. කෙසේ වෙතත් තීරණය වෙනසක් නොවූ හෙයින් ලකුණු නොලබාම සිබ්ලේ පිටියෙන් ඉවත් විය.

නව පන්දුවෙන් වුවද ඉතා හොඳින් පන්දු යැවූ ඇඹුල්දෙණිය ඊළඟ පන්දුවාරයේදී සැක් ක්‍රෝලිව දවා ගනිමින් පිට පිට තෙවැනි වතාවටත් එංගලන්ත ආරම්භක පිතිකරුවන්ව අසීරුවට ඇද දැමූහ. මෙම ඉනිමට අමතරව පළමු තරගයේ ක්‍රීඩා කළ ඉනිම 2 දීම එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලය දවා ගනු ලැබුවේ ඇඹුල්දෙණිය විසින් වන අතර එහිදී එකම අවස්ථාවක හෝ ලකුණු 10 සීමාව පසුකර යෑමට ඔවුන්ට අවස්ථාව ලබා නොදීම විශේෂත්වයක් වේ.

කඩුලු 4 කට ලකුණු 229 ක් ලබා සිටියදී දෙවැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩාය ලකුණු 381 ක් දක්වා ඉහළ දමා ගැනීමට පිතිකරුවන් සමත් වද්දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40 කට කඩුලු 6 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ටෙස්ට් තරග දිවියේ කඩුලු 5 කට වැඩියෙන් දවා ගන්නා ලද 30 වැනි අවස්ථාව ලෙසින් සටහන් වුණු ඇන්ඩර්සන්ගේ පන්දු යැවීම, තම රටින් පිටත තරග කිරීමේදී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ලෙසින්ද සටහන් විය. තම 38 වැනි විය ගෙවා දමමින් සිටින ඇන්ඩර්සන් මීට වසර 9 කට පෙර ගාල්ලේදී ලකුණු 72 කට දවා ගත් කඩුලු 5 මීට පෙර හොඳම පන්දු යැවීමේ වාර්තාව බවට පත්විය. ආසියාවේදී කඩුලු 5 ක් දවා ගත් වයස්ගතම පන්දු යවන්නාගේ වාර්තාවද ඇන්ඩර්සන්ගේ නමින් ලියැවීම කැපී පෙනුණි.

දෙවැනි දිනය ආරම්භයේදී යවන ලද පන්දු 19 ක් ඇතුළත කඩුලු 2 ක් දැවී ගියද නිරෝෂන් දික්වැල්ලට එක්වූ ඩිල්රුවන් පෙරේරා දිවා විවේකය වෙන තෙක් කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු ඉහළ දැමූහ. දිවා ආහාරයෙන් පසුවද පන්දුවට පහර දුන් මොවුන් දෙපළ ඉතා හොඳින් ලකුණු රැස් කරමින් සිටින අතරතුරදී ඇන්ඩර්සන්ගේ පස්වැනි කඩුල්ල ලෙසින් දික්වැල්ල දැවී ගියේ ශතකයට ලකුණු 8 ක් ලබාගැනීමට තිබියදීය.

41 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළත් තවමත් ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට අසමත්ව සිටින දික්වැල්ල, තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමේ පහසුම අවස්ථාවක් අද දිනයේ තිබූ නමුත්, එල්ල කරන ලද පහරේ ස්ථානගත කිරීම දුර්වලතාවය ඊට හරස් විය. අකමැත්තෙන් වුවද ලකුණු 92 කදී ඉනිම නවතා දමා පිටියෙන් ඉවත්වීමට දික්වැල්ලට සිදුවීම නිසා 7 වැනි කඩුල්ල වෙනුවෙන් එතෙක් වෙලා පැවැත්වූ සම්බන්ධතාවයද ලකුණු 89 දී ඇණ හිටිණ.

නම් දැරූ සියල්ලන් ප්‍රේක්ෂකයින් බවට පත් වද්දී සිය සටන අත්නොහළ ඩිල්රුවන් පෙරේරා අද දිනයේදී සිය 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගත්තේය. ආරම්භයේ සිටම කිසිදු පැකළීමකින් තොරව පන්දුවට පහර දුන් ඩිල්රුවන් ලබාගත් ලකුණු 67 සඳහා පන්දු 170 කට මුහුණ දී තිබුණි. හයේ පහරක් සහ හතරේ පහර 8 කින් ඉනිම අලංකාර කරගත් ඩිල්රුවන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී ගියේය.  දැවී යෑමට ප්‍රථම අවසන් පිතිකරුවන් යුගලය වූ ලසිත් ඇඹුල්දෙණිය සහ අසිත ප්‍රනාන්දු සමඟ එක්ව තවත් ලකුණු 49 කින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ.

පළමු කඩුල්ල ලෙසින් දෙවැනි දිනයේ යවන ලද 6 වැනි පන්දුවේදී ඇන්ජලෝ මැතිව්ස්ව දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය. කඩුල්ල මුවා කිරීමක් බවට කළ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප කළ බැවින් ඉන් සෑහීමකට පත් නොවුණු එංගලන්ත නායකයා එය පිටියේ විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කරමින් තෙවැනි විනිසුරුගේ සහාය පැතීය. තෙවැනි විනිසුරු ක්‍රමවේදය විමසීමේදී යොදා ගනු ලබන අල්ට්‍රා එජ් (UltraEdge) තාක්ෂණය භාවිතයේදී එය පා ආවරණයේ වැදීමට පෙර පිත්තේ ඇතුල් දාරයේ වැදුණු පන්දුවක් ලෙසින් දර්ශනය විය. අවාසනාවක මහත වූයේ මැතිව්ස්ගේ පිත්තෙත් පා ආවරණයෙත් වැදුණු පන්දුව කඩුලු රැකි ජොස් බට්ලර් රැක ගැනීමට සමත්වීමය. අනපේක්ෂිත අන්දමින් මැතිව්ස් දැවී යන විට පන්දු 238 කදී හතරේ පහර 11 ක් සමඟින් අගනා ලකුණු 110 ක් ලබාගෙන සිටියේය. ඉන් පන්දු 19 කට පසු මංගල ඉනිම ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස්ව ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට මාක් වුඩ් සමත්වූ අතර එම දැවී යෑම වෙනුවෙන් කඩුලු රකින ජොස් බට්ලර් රැක ගත් උඩ පන්දුව විශිෂ්ඨ මට්ටමේ විය. ඉදිරි පාදයට මඳක් ඈතින් ඇදී ගිය පන්දුවට ග්ලාන්ස් පහරක් එල්ල කිරීමේදී එය කඩුලු රකින්නාට වඩා අඩි කීපයක් ඈතින් ඇදී ගියේය. එසැණින් ගුවණට පැන එය උඩ පන්දුවක් සේ රැක ගැනීමට බට්ලර් සමත්වීම දෙවැනි දිනය රැක ගත් විශිෂ්ඨතම උඩ පන්දුව බවට අවිවාදිතය.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest