slc
Home   |    News
ජනවාරි 13, 2021
එංගලන්ත අපරාජිත ගමනට තිත තියන්න ශ්‍රී ලංකාව හෙට ගාලු පිටියට

sinhala editor

Chamila Karawita reporting from Galle

ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි 7 වැනි ස්ථානය දක්වා පහත බැස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉදිරියට යෑමට ඇත්තේ ඉතාම විරළ අවස්ථාවක් වුවද සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය යටතේ හෙට (14 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඇරඹෙන පළමු ටෙස්ට් තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට කරුණු දෙකක් යටතේ වැදගත් වේ.

අවසන් වර ශ්‍රී ලංකාවේදී දෙරට මුණ ගැසුණු අවස්ථාවේදී එංගලන්ත පිල හමුවේ ලද 3-0 ක තරගාවලි පරාජයට පත්වීමේ වාඩුව ලබා ගැනීම එහි පළමු කරුණ බවට පත්වද්දී සතියකට ඉහතදී දකුණු අප්‍රිකාව හමුවේ ලද අමිහිරි පරාජයේ මතකය අමතක කර දමමින් යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීම එහි දෙවැනි කරුණ බවට පත්ව තිබේ.

එංගලන්තය තරග වැදි 2018 තරගාවලියෙන් පසු ගෙවී ගිය මාස 25 කට ආසන්න කාලයේදී ශ්‍රී ලංකා පිල සිය මව්බිමේදී තරග වදිනු ලබන තෙවැනි ටෙස්ට් තරගය වන්නේ හෙට ඇරඹෙන ටෙස්ට් තරගය වේ. ඒ අතරතුර කාලයේදී ප්‍රතිවාදී එංගගන්ත පිල ටෙස්ට් තරග 12 කට සහභාගිවී තිබේ. තරග අත්දැකීම් අතින් එවන් තත්ත්වයක පසු වද්දී මාස 15 කට පසු මව්බිමේදී තරග වදින පළමු ටෙස්ට් තරගය වන හෙට තරගයේදී ශ්‍රී ලංකාවට ඇති සුභදායකම මතකය වන්නේ අවසන් වරට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහභාගි වුණු ටෙස්ට ටෙස්ට් තරගය ජයගැනීමට සමත්ව තිබීමය. නවසීලන්ත පිලට එරෙහිව 2019 වසරේ අගෝස්තුවේ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලුඅ 6 ක ජයක් අත්කරගෙන තිබේ.

ශ්‍රී ලංකා පිලට ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කරමින් එංගලන්ත පිල තමන් සතුකරගෙන සිටින ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රැක ගනිමින් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යෑමේ අපේක්ෂාවෙන් සිටින එංගලන්ත කණ්ඩායම සැලසුම් සහගතව තරගාවලියට අවතීර්ණ විය. එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ ආගන්තුකයින් වුවද මේ තරගාවලියේදී ඔවුන්ට වඩා හොඳ සූදානමක් තිබෙන බවට තර්කයක් නැත. මන්ද යත් ඔවුන් ශ්‍රී ලංකා පිලට වඩා වැඩි කාලයක් ගෙවී ගිය දින කීපයේදී ශ්‍රී ලාංකේය තණතීරුවල සිය පුහුණුවීම් කටයුතු සිදුකළ බැවිණි. ගැටළුවකට කරුණක් ඇත්නම් ඒ තරගාවලිය සඳහා විශේෂඥ දඟ පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට කැඳවන ලද මොයින් අලීට කොවිඩි අසාධනය වීම මත ඔහුට තරගාවලිය අහිමිවීම පමණි.

කෙසේ වෙතත් ප්‍රභලම ක්‍රීඩකයින් වන බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් විවේක ගැන්වීම සහ රොරී බර්න්ස් පීතෘ නිවාඩු ගෙන සිටීම මත මෙම තරගාවලියට සහභාගිවනු ලබන්නේ එංගලන්ත කණ්ඩායමේ උපරිම දක්ෂතාවයෙන් යුතු කණ්ඩායම නොවේ. ඒ අතරට ඉකුත් 2018 තරගාවලියේදී එංගලන්ත පිල 3-0 ක් ලෙස තරගාවලි ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රධානම චරිතය වන අදෙලි රශීඩ්ගේ සේවයද මෙම තරගාවලියේදී එංගලන්ත පිලට අහිමිව තිබේ.

එහෙත් හෙට තරගය පිළිබඳව දැනුවත් වීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවට පැමිණි එංගලන්ත නායක ජෝ රූට් සඳහන් කර සිටියේ සංචිතය සතු ජැක් ලීච් සහ ඩොම් බේස්, දඟ පන්දු යවන්නන් ලෙසින් ඔවුන්ට පැවැරී ඇති රාජකාරිය ඉටු කරනු ඇති බව සිය විශ්වාස කරන බවයි.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තය පැමිණියේ ජනවාරි 03 වැනිදා වන අතර නීරෝධායන දින 3 ක කාලය අවසන් කිරීමෙන් පසු ඔවුහු හම්බන්තොටදී සිය පුහුණුවීම් වල නිරත වූහ. ශ්‍රී ලංකා පිල ගාල්ලට පැමිණි ඉකුත් 08 වැනිදා දිනම ගාල්ලට පැමිණි එංගලන්ත කණ්ඩායම, ගාල්ල තණතීරුවේද ශ්‍රී ලංකාවට වඩා වැඩි පුහුණුවක් ලබා ගැනීමට කාලගුණය ඔවුන්ට කීකරු විය. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද (13 දා) සහ පෙරේදා (11 දා) යන දිනයන්හිදී  සිය පුහුණුවීම් වල නිරත වීමේ අවස්ථාව වර්ෂාව හේතුවෙන් අහිමිවිය. ඊයේ දිනයේදීත් වර්ෂාවෙන් බාධා එල්ල වුවත් වැහි පොද මධ්‍යයේදී ශ්‍රී ලංකා පිල සිය පුහුණුවීම් වල නිරත වූහ.

හෙට තරගය ඇන්ජලෝ මැතිව්ස්ට විශේෂ තරගයකි. මන්ද යත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 සීමාව ඉක්මවා ගිය පස්වැනි පිතිකරුවා බවට පත්වීමට මැතිව්ස්ට අවශ්‍යව පවතින්නේ තවත් ලකුණු 19 ක් පමණක් බැවිනි. අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩ ඉම පසු කර ඇති පිතිකරුවෝ වෙති.

අවසන් ඉනිම 3 දීම ලකුණු ලබා ගැනීමට අපොහොසත්ව සිටින කුසල් මෙන්ඩිස්ට යළිත් ලකුණු අතරට පැමිණීමට හෙට තරගය හොඳ අවස්ථාවකි. මන්ද යත් ගාල්ල තණතීරුව පළමු දින 2 තුළදී පිතිකරුවන්ට වැඩි දායකත්වයක් දක්වන තණතීරුවක් බැවිනි. සාම්ප්‍රදායිකව සිව්වැනි සහ පස්වැනි දිනයන්හිදී දඟ පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දෙන ගාල්ල තණතීරුවේදී ශ්‍රී ලංකා පිල ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් අවතීර්ණ වනු ඇත. එහි ප්‍රධාන තැන වනිඳු හසරංගට හිමිවනු ඇත. ගාල්ල රිච්මන්ඩ් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වුණු වනිඳුගේ එක්දින තරග ආගමනයද සිදුවූයේද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එම තරගයේදී වනිඳු කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වාසනාවන්ත වූවේය. සිය මංගල එක්දින තරගයට ඓතිහාසික මතකයක් එක් කර ගත් වනිඳු මව්බිම තුළ ක්‍රීඩා කරනු ලබන පළමු ටෙස්ට් තරගයත් තමන් හැදී වැඩුණු ගාල්ලේදීම ක්‍රීඩා කිරීම දෛවෝපගත සිදුවීමක් ලෙසින් හැඳින්විය හැක. වනිඳුට අමතරව පළපුරුදු ඩිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණියට හෙට තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතිනු ඇත.

දඟ පන්දු යවන්නන් තිදෙනකු සමග අවතීර්ණවීම නිසා අවසන් 11 දෙනා අතර එක් වේග පන්දු යවන්නකුට පමණක් ඉඩ කඩ විවර වී තිබේ. නුවන් ප්‍රදීප්ව කැඳවීම මත කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය 6 දෙනෙක් දක්වා පුළුල්ව ඇත්තේ පළපුරුදුම පන්දු යවන්නා වන සුරංග ලක්මාල්ද සහිතවය. ආබාධය සුව වුවත් ටෙස්ට් තරගයකදී පන්දු යවන්නකු සතුව තිබිය යුතු ශාරීරික යෝග්‍යතාවයකට තවමත් ඔහු ළඟා වී නොමැති බැවින් හෙට තරගය සඳහා වන තේරීම් වලදී ඔහු ඇතුළත් නොවනු ඇත. එබැවින් පළමු තේරීම බොහෝ විට වමත් පන්දු යවන විශ්ව ප්‍රනාන්දුට හිමිවනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්.

එංගලන්ත කණ්ඩායම – ජෝ රූට් (නායක), ජොස් බට්ලර්, ඩොම් සිබ්ලේ,  සැක් ක්‍රෝලි, ඔලී ස්ටෝන්, ජේම්ස් ඇන්ඩර්සන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ෆෝක්ස්, මාක් වුඩ්, ඩොම් බෙස්, ඩෑන් ලෝරන්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජැක් ලීච්. අතිරේක – ජේම්ස් බ්‍රෙසී, මේසන් ක්‍රේන්, සකීබ් මහමූද්, ක්‍රෙග් ඕවරටන්, මැට් පාර්කින්සන්, ඔලී රොබින්සන්, අමාර් විර්දි.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest