slc
Home   |    News
ජනවාරි 20, 2021
එංගලන්ත පන්දු යවන්නන් කිසිම ලිහිළක් දුන්නේ නෑ – මැතිව්ස්

sinhala editor

Chamila Karawita reporting from Galle

ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරන ලද පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතා පිළිබඳව ප්‍රශංසාත්මකව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ලකුණු රැස් කිරීම සඳහා පිතිකරුවන්ට කිසිදු ලිහිළක් ලබා නොදුන් බව සඳහන් කර සිටියි.

ටෙස්ට් තරගයකට වඩාත් උචිත වන ආකාරයෙන් නියමිත රේඛාවේ සහ ස්ථානය පතිත කරමින් එංගලන්ත පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යවන අවස්ථාවකදී ලකුණු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කිරීම, අසාර්ථකත්වයට හේතු වූ බව හිටපු ටෙස්ට් නායකයා සඳහන් කර සිටියේය.

“ඔවුන් කිසි විටෙකත් අපිට ලිහිලක් ලබා දුන්නේ නෑ. තණතීරුව හොඳින් දඟ කැවෙමින් තිබෙන අවස්ථාවේත් ඔවුන් උත්සාහ කළේ කඩුලු දවා ගන්න. ඇත්තටම ඔවුන් හරිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සිද්ධ කළා. ඔවුන් එක රේඛාවක් දිගේ පන්දු යැව්වා වගේම  පතිත කිරීමත්  ඉතා හොඳින් සිදු කළා. ඇත්ත වශයෙන් අපි හොඳ පන්දු වලට පහර එල්ල කිරීමට ගිය නිසා තමයි අපිට ලකුණු ලබා ගැනීමට නොහැකි වුණේ”යි මැතිව්ස් සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 135 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වද්දී ඉන් ලකුණු 27 ක් මැතිව්ස්ගේ පිත්තෙන් වාර්තා විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු දිනේෂ් චන්දිමාල්ට වඩා පළමු ඉනිමේදී ලකුණක් පිටුපසින් සිටි මැතිව්ස් දෙවැනි ඉනිමේදී වඩා ඉවසිලිවන්ත වෙමින් ලකුණු 71 ක් රැස් කරමින් ඉනිමක පරාජයක් ලැබීමේ අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් මුදවා ගත්තා පමණක් නොව ප්‍රතිවාදීන්ට ලකුණු 74 ක ඉලක්කයක් ලබා දීමට තරම් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය ලබා දුන්නේය.

එම අදහස් දැක්වීමේදී ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දු යැවීම පිළිබඳවද අදහස් දක්වා සිටි මැතිව්ස්, දෙපසටම දෝලනය කරමින් පන්දු යැවීමට ඔහු සමත්වීම විටෙක තමාට එංගලන්තයට ගොස් තරග කරන බවක් හැඟී ගිය බව සඳහන් කර සිටියේය.

“බ්‍රෝඩ් කියන්නේ මොන වගේ පන්දු යවන්නෙක්ද කියන එක අපි කවුරුත් දන්නවා. ඔහු ටෙස්ට් කඩුලු 500 කට වඩා ලබා ගෙන තියෙන ලෝකයේ හොඳම වේග පන්දු යවන්නෙක්. වේග පන්දු යවන්නන්ට කිසිදු සහායක් ලබා නොදෙන මතු පිටකදී වුවත් ඔහුට පන්දුව හොඳට දෝලනය කරන්න පුලුවන්. එක අවස්ථාවක ඔහුගේ දෙපසටම චලනය වන අයුරින් පන්දු යැවීමට සමත්වීම නිසා මට දැනුනේ මම එංගලන්තයට ගොස් තරග කරනවා වගේ හැඟීමක්. මේ වගේ තණතීරුවක ක්‍රීඩා කරද්දී එහෙම දෙයක් කරනවා කියන්නේ වේග පන්දු යවන්නකුට ඉතා අමාරු කටයුත්තක්” යැයි මැතිව්ස් සඳහන් කරයි.

පළමු ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට බ්‍රෝඩ් සමත්වූයේ ලකුණු 20 ක් පමණක් ලබා දෙමිනි. දෙවැනි ඉනිමේදී යවන ලද පන්දුවාර 17 න් 11 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් යැවීමට බ්‍රෝඩ් සමත්විය. ඒ අතරතුරදී බ්‍රෝඩ් විසින් පන්දු 37 ක් යොමු කර තිබුණත් ඔහුට එරෙහිව මැතිව්ස් එල්ල කිරීමට සමත්ව තිබුණේ එක පහරක් පමණි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest