slc
logo
Home   |    News
ජනවාරි 17, 2021
තරගය 5 වැනි දිනයටත් ඇදී යයි

sinhala editor

Chamila Karawita reporting from Galle

වසර 8 කට ආසන්න කාලයකට පසු ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වීමත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (17 දා) සමත්විය. ලකුණු 286 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළද සිව්වැනි දිනයේදී පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පිලට එරෙහිව ලකුණු 74 ක ඉලක්කයක් ලබා දුන්නේය.

එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් සිටින එංගලන්ත පිල සිව්වැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටින්නේ තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී තවත් ලකුණු 36 ක් පමණක් ලබාගත යුතු වන පසුබිමකය.

ලකුණු 74 ක් වුවද සටනක් දීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් පළමු පන්දුවාරය යැවූ ලසිත් ඇඹුල්දෙණිය ඩොම් සිබ්ලේගේ කඩුල්ල දවා ගනිමින් පීඩනය තර කළේය. එතැනින් නොනැවතුණු ලසිත් නැවතත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ සැක් ක්‍රෝලිගේ කඩුල්ලද ද්විත්ව ශතක ලාභියා වූ ජෝ රූට්ව නිරෝෂන් දික්වැල්ල විසින් දුවද්දී දවා ගැනීමට සමත්වීමත් සමඟ කිසි විටෙකත් අපේක්ෂා නොකළ අර්බුදයකට එංගලන්ත පිල මුහුණ දුන්නේය. එම පිතිකරුවන් තිදෙනා දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව යන්තමින් ලකුණු 14 ක් ලෙසින් සටහන්ව පැවැතිණ.

කෙසේ වෙතත් ජොනී බෙයාර්සටෝට එක්වූ ඩෑන් ලෝරන්ස් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් මන්දාලෝකය මත ක්‍රීඩාව නිමා කරන පිළිවෙළින් ලකුණු 11 ක් සහ 7 බැගින් ලබා සිටියහ.

තිරිමාන්න විසින් රැස් කරන ලද මෙම ශතකය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දෙවැන්න ලෙසින් සටහන් විය. බංග්ලාදේශයට එරෙහිව 2013 වසරේ ගාල්ලේදී  ලබාගන්නා ලද ශතකයෙන් (නොදැවී ලකුණු 155 ක්) පසු තිරිමාන්න ශතකයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව වශයෙන් අද ලබා ගත් ලකුණු 111 ක ඉනිම සටහන් විය.  ඒ අනුව තිරිමාන්න ශතකයක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ඉනිම 54 කින් පසුව වීම කැපී පෙනෙයි.

පෙර දිනයේ සැඳෑ පිතිකරු ලෙසින් පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය දිනයේ දැවී ගිය ප්‍රථම පිතිකරුවා බවට පත්වද්දී තිරිමාන්නට එකතු වී ඇන්ජලෝ මැතිව්ස් ගෞරවාන්වත තරගාවසානයක් දක්වා තරගය රැගෙන ගිය අනෙක් නියමුවා බවට පත්විය. එම සම්බන්ධතාවයේදී මැතිව්ස් දැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරද්දී ලද දුර්වල පන්දු දුටු විගස පහර එල්ල කළ තිරිමාන්න ශතකය කරා ඇදී ගියේය.

ඉනිමේ අවසන් බර කරට ගත් ඇන්ජලෝ මැතිව්ස් ඉතා ඉවසිලිවන්තව ක්‍රීඩා කරමින් ලකුණු 71 ක් ලබා ගත්තේ පන්දු 219 කට මුහුණ දෙමින්. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මැතිව්ස් දැවී යන විට තම ඉනිමට හතරේ පහර 4ක් පමණක් ඇතුළත් කරගත්තේය.

නව පන්දුව ලබා ගැනීම සඳහා වූ අවකාශ විවර වීමත් සමග එංගලන්ත නායකයා දෙවැනි නව පන්දුව ලබා ගැනීමට තීරණය කළ අතර එහිදී ඔවුන්ට අවශ්‍යව තිබූ ක්ෂනික ප්‍රගතිය අත්කර දීමට සෑම් කරන් සමත්විය. පිට ඉන්නේ පතිත කොට ශරීරය වෙතට දෝලනය වන සේ යොමු කරන පන්දුව තිරිමාන්නගේ පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුලු රකින ජොස් බට්ලර්ගේ දෑත් සොයා ගියේය. ඒ සමඟ පැය 5 කට ආසන්න කාලයක් තිස්සේ පිටියේ රඟ දැක්වූ තිරිමාන්නගේ ඉනිමත් සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයත් ලකුණු 52 දී බිඳ වැටිණ.

පිටියට පිවිසි අවස්ථාවේ සිටම නායක චන්දිමාල් පහරවල් කරා යෑමට වැඩි උනන්දුවක් දැක්වූ අතර පිත්තේ දාරයේ වැදුණු පන්දුව අවස්ථා දෙකකදී හතරේ සීමාව කරා ඇදී ගියේය. කෙසේ වෙතත් මැතිව්ස් සමඟ දිවා විවේකය වන තෙක් තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට චන්දිමාල් සමත්වූයේ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 242 ක් ලෙස ඉහළ දමමිනි.

පළමු ඉනිමේදී ලකුණු 30 ට කඩුලු 5 ක් දවා ගත් ඩොම් බෙස්, චන්දිමාල්ව ලකුණු 29 කදී දවා ගනිමින් තරගයේ වාසිය එංගලන්ත පිලට ලබා දීමට සමත් වද්දී මැතිව්ස්ට එක්වූ දික්වැල්ල නැවතත් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවේය. මංගල ටෙස්ට් ශතකයක් ලබා ගැනීමට සිහින දකිමින් සිටින දික්වැල්ලට අද දිනයේදී එම  සිහිනය සැබෑ කර ගැනීමට ඕනෑ තරම් කාල වේලා තිබූ නමුත් කඩුල්ලෙන් පිටතට ගිය පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමෙන් කඩුල්ල අහිමි කරගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව 291 ක්ව පවතිද්දී දික්වැල්ලගේ කඩුල්ල දවා ගත් ලීච් ලකුණු 13 ක් ඇතුළත දසුන් ශානක සහ වනිඳු හසරංගගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාව අසීරුවට ඇද දැමීය. කෙසේ වෙතත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් මැතිව්ස්ට එක්වූ ඩිල්රුවන් ලකුණු 38 ක් එක් කරමින් ලකුණු එංගලන්ත කණ්ඩායමට සිව්වැනි ඉනිමේදී ලබාගත යුතු ඉලක්කය දීර්ඝ කිරීමට දායක විය. අවසන් කඩුල්ලද දවා ගත් ලීච් සිය ටෙස්ට් තරග දිවියේ දෙවැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය. ඔහුගේ පළමු කඩුලු 5 ද ශ්‍රී ලංකාවට එරෙහිව වීම විශේෂත්වයක් වන අතර එය ඉකුත් 2018 වසරේ පල්ලකැලේ පැවැති තරගයේදී ලීච් දවා ගැනීමට සමත්වූවේය.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee