slc
Home   |    News
ජනවාරි 11, 2021
තරගාවලිය ජයගන්න හොඳ අවස්ථාවක් තියෙනවා – දික්වැල්ල

sinhala editor

By Chamila Karawita

දකුණු අප්‍රිකාවට එරෙහි පැවැති ටෙස්ට් තරගාවලිය නිමාවීමත් සමඟ හරියටම දින 7 ක කාලයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තවත් අභියෝගාත්මක තරගාවලියකි. ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියයි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භයට පෙර ශ්‍රී ලංකාවට ඇත්තේ එතරම් සුභදායී මතකයක් නොවේය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය පරාජයට පත්වීම, ප්‍රධාන ක්‍රීඩකයින් 7 දෙනෙකුම ආබාධයන් වලට ලක්ව සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට අවතීර්ණ වනුයේ තරමක් දෙගිඩියාවකින් යැයි කිවහොත් නිවැරදිය.

එහෙත් තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා වන මැද පෙළ පිතිකරු නිරෝෂන් දික්වැල්ල පවසන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියේදී සිදුවුණු අතපසුවීම් නිවැරදි කරගනිමින් සාර්ථකව ආරම්භයක් ලබා ගතහොත් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාවක් තම කණ්ඩායම සතුව පවතින බවයි.

“ඇත්තටම දකුණු අප්‍රිකාවේදීත් අපිට ඒ සැලසුම් ඒ විදියටම තිබුණා. නමුත් අපේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තත්ත්වයන් සහ අවස්ථාවන් වලට ගැලපෙන ආකාරයට ක්‍රීඩා කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න නම් මුලින්ම විනාඩි 10 ක්, විනාඩි 20 ක්, ඊට පස්සේ ඒක පැයක්, ෂෙසන් දක්වා කියන ගමන අපි මුලින්ම ජයග්‍රහණය කරන්න ඕන. එහෙම තමයි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරා යන්න ඕන. අපිට ඒ දේ දකුණු අප්‍රිකාවේදි කරගන්න බැරි වුණා. නමුත් එහෙදි වුණු අඩු පාඩු මොනවද කියන එක ගැන අපි හඳුනාගෙන තියෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ තරගාවලියේ ආරම්භයේ ඉඳන්ම ක්‍රීඩා කිරීමට හැකි වුණොත් කණ්ඩායමක් විදියට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා”යි දික්වැල්ල සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 ම දින 3 ක් ඇතුළත හමාරවීම කැපී පෙනුණු අතර එහිදී ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන ලද ඉනිම 4 න් අවස්ථා පන්දුවාර 60 කට වඩා වැඩියෙන් ක්‍රීඩා කර ඇත්තේ එක් ඉනිමකදී පමණි. පළමු තරගයේ පළමු ඉනිමේදී පන්දුවාර 96 කට ක්‍රීඩා කරමින් රැස් කරන ලද ලකුණු 396 ක ඉනිමෙන් පසු අනෙක් ඉනිම 3 දීම ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කර ඇත්තේ පන්දුවාර 143.3 කට (ඕවර 46.1, දෙවැනි ටෙස්ට් තරගය – පළමු ඉනිම ඕවර 40.3 සහ දෙවැනි ඉනිම ඕවර 56.5) පමණි. එය දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිමේදී ක්‍රීඩා කරන ලද පන්දුවාර සංඛ්‍යාව (142.1) හා සසැඳූ විට පන්දු 8 ක් පමණක් ශ්‍රී ලංකා පිල වැඩියෙන් ක්‍රීඩා කර තිබේ.

පළමු ටෙස්ට් තරගයට සහභාගිවීම සඳහා හම්බන්තොට සිට ගාල්ලට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම අද (11 දා) දිනයේදී ගාල්ලේ සිය පළමු පුහුණු සැසියට සහභාගිවිය. එහිදී සතියක ස්වයං නීරෝධායනයට ලක්ව සිටි ක්‍රිස් වෝක්ස් ද අද දිනයේදී සිය පුහුණුවීම් වල නිරත වූවේය. දකුණු අප්‍රිකාවේ සිට ඉකුත් 08 වැනිදා සවස් යාමයේදී ගාල්ලට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (10 දා) දිනයේදී පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, දිනය පුරාව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයට යෑමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල අද (11 දා) දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු සඳහා සහභාගිවූවේය.

ප්‍රභලම ක්‍රීඩකයින් වන බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් විවේක ගැන්වීම සහ රොරී බර්න්ස් පීතෘ නිවාඩු ගෙන සිටීම මත මෙම තරගාවලියට සහභාගිවනු ලබන්නේ එංගලන්ත කණ්ඩායමේ උපරිම දක්ෂතාවයෙන් යුතු කණ්ඩායම නොවේ. ඒ අතරට ඉකුත් 2018 තරගාවලියේදී එංගලන්ත පිල 3-0 ක් ලෙස තරගාවලි ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රධානම චරිතය වන අදෙලි රශීඩ් සහ කොවිඩ් 19 වෛරසය ආසාධනය වී සිටින මොයින් අලීගේ සහභාගිත්වයද එංගලන්ත පිලට අහිමිව තිබේ.

දැවැන්ත නම් සහිත ක්‍රීඩකයින් කීප දෙනෙකුගේම සේවය එංගලන්ත පිලට අහිමිවී තිබෙන පසුබිමක 2018 තරග වාරයේදී තම කණ්ඩායමට එරෙහිව ලද 0-3 ක තරගාවලි ජයග්‍රහණයේ වාඩුව ලබා ගැනීමේ හොඳම අවස්ථාවක් මෙම තරගාවලිය තුළ පවතින බව දික්වැල්ල වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

“තරගාවලිය අතින් ගත්තොත් කණ්ඩායම් දෙකටම ඉතා අමාරු තරගාවලියක්. ඒත් 2018 පැවැති තරගාවලිය හා සංසන්දනය කරන විට, මේ තරගාවලිය ජය ගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් (ජොෆ්රා) ආචර් සහ (බෙන්) ස්ටෝක්ස් වගේම තවත් ක්‍රීඩකයින් කීප දෙනෙකු රහිතව එංගලන්ත පිල ක්‍රීඩා කිරීම, තරගාවලිය ජය ගැනීමට අපිට වඩා හොඳ අවස්ථාවක් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වුණත් අපි ඔවුන්ව කොයිම විදියකින් අවතක්සේරුවෙන් සලකන්නේ නෑ. උපරිම දක්ෂතාවයෙන් යුතුව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”යි දික්වැල්ල පැවැසීය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest