slc
Home   |    News
ජනවාරි 25, 2021
දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් එංගලන්තයට

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය මුළුමනින්ම තමන්ගේ තරගයක් කරගත් එංගලන්ත කණ්ඩායම විසඳුමකින් තොරව අවසන් වනු ඇතැයි පෙර නිමිති පහළ වුණු තරගය අනපේක්ෂිත අයුරින් ජය ගැනීමට අද (25 දා) සමත්විය. පළමු තරගයද කඩුලු 7 කින් ජය ගෙන සිටින එංගලන්ත කණ්ඩායම දෙවැනි තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිල ඔවුන්ගේ මව්බිමේදීම පරාජයට පත් කළේය.

එංගලන්ත කණ්ඩායම ඉකුත් 2012 වසරෙන් පසු මෙරටදී පැවැති එකම තරගයක් හෝ පරාජයට පත් වී නොමැති අතර මෙම ජයග්‍රහණය පිට පිටම ලද 6 වැන්න බවට පත්විය.

කඩුලු 15 ක් බිඳ වැටුණු සිව්වැනි දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම 44 වැනි පන්දුවාරයේදී සපුරා ගනිද්දී ප්‍රතිවාදී පන්දු යවන්නන් විසින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන ලද ඉනිම 3 දීම ලසිත් ඇඹුල්දෙණිය හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ඩොම් සිබ්ලේ අවශ්‍යම මොහොතේ ලකුණු අතර පිවිසෙමින් අසීරුවකින් තොරව එංගලන්ත පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එංගලන්ත ජයග්‍රහණය සනිටුහන් වන මොහොත වන විට සිබ්ලේ සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගනිමින් ලකුණු 56 ක්ද සහ ජොස් බට්ලර් ලකුණු 46 ක් ද ලබාගෙන සිටියහ.

ලකුණු හඹා යෑමේදී යළිත් ක්‍රියාත්මක වුණු ලසිත් ඇඹුල්දෙණිය ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 3 ක් සහ රමේෂ් මෙන්ඩිස් විසින් ජෝ රූට්ගේ කඩුල්ලත් දවා ගැනීමට සමත්වීම නිසා ජයග්‍රහණයේ වාසනාව දෙපිළට අතරම දෝලනය විය. කෙසේ වෙතත් සිබ්ලේට එක් වුණු ජොස් බට්ලර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවයක් එක් කරමින් එංගලන්ත ජයග්‍රහණය සුරක්ෂිත කළහ.

පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වීමත් සමඟ ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් දවා ගැනීමට සමත්වූවේය. මෙම දක්ෂතාවය තරග 9 කින් සමන්විත ටෙස්ට් දිවයේ පළමු අවස්ථාව ලෙසින් සටහන් විය.

දිනය ආරම්භයේ යවන ලද 11 වැනි පන්දුවේදී එංගලන්ත අවසන් කඩුල්ල දවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 37 කින් පළමු ඉනිමේ වාසිය ලබා ගත්තේය. එහෙත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට එංගලන්ත දඟ පන්දු යැවීම හමුවේ දැඩි පසුබෑමක් පෙන්නුම් කළ අතර එහි ප්‍රථිඵලයක් ලෙස දෙවැනි ඉනිම පන්දුවාර 35.5 ක් අතුළතදී ලකුණු 126 කට සීමා විය.

පළමු ඉනිමේදී වේග පන්දු යවන්නන් ඉෂ්ඨ කළ රාජකාරිය දෙවැනි ඉනිමේදී භාර ගත් එංගලන්ත දඟ පන්දු යවන්නෝ දිවා ආහාරයට තරගය නිමා කරන විටත් ශ්‍රී ලංකා පිලේ කඩුලු 6 ක් ලකුණු 67 ක් තුළදී දවා ගනිමින් කිසිසේත් අපේක්ෂා නොකළ වාසියක් එංගලන්ත පිල වෙත රැගෙන ආහ. පන්දු යවන්නන්ගේ දක්ෂතාවයට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැලකිළිමත් පිතිහරඹය මෙම අවාසනාවන්ත ඉරණමට හේතුවිය.

ජැක් ලීච්ගේ පන්දුවකට එල්ල කරන ලද ස්ලොග් ස්වීප් පහර වැරදී යෑම මත පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා පිටියෙන් ඉවත්ව ගියේය. පිටියේ විනිසුරු ලබා දුන් එම තීරණය තෙවැනි විනිසුරුගේ විමසීමට යොමු කළද පළමු තීරණයට අභියෝගයක් නොවීය. මුලු ලකුණු සංඛ්‍යාව 19 ක්ව තිබියදී පළමු කඩා වැටීම සිද්ධ වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුවට ලකුණු 47 ක් එක් වන අතර වාරයේ තවත් කඩුලු 5 ක් දවා ගනිමින් කළ හැකි උපරිම අපහසුතාවයට ශ්‍රී ලංකා පිල ඇද දැම්මේය. ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල දිවා ආහාරයට ප්‍රථම දැවී ගිය පිතිකරුවෝ බවට පත්වූහ.

එහිදී කඩුලු 3 බැගින් බෙදා ගත් ඩොම් බෙස් සහ ජැක් ලීච්, දිවා ආහාරයෙන් පසු නැවතත් ක්‍රියාත්මක වෙමින් තවත් කඩුලු 2 ක් බිඳ හෙළූහ. එහෙත් 8 වැනි කඩුල්ලට එක් වුණු සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙණිය පන්දු 63 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. පන්දුවෙන් සිය උපරිමය මෙම තරගයේදී ලබා දුන් ලසිත් ඇඹුල්දෙණිය පිතිකරණයෙන්ද දායක වෙමින් ලකුණු 40 ක් රැස් කළේය. හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් තම ඉනිම වර්ණවත් කර ගත් වමත් පිතිකරුවා මුහුණ දුන් 42 වැනි පන්දුවේදී දැවී ගියේ ස්ලිප් ස්ථානයේ පන්දු රැකි ජොනී බෙයාර්ස්ටෝගේ දක්ෂ උඩ පන්දු රැකීම හේතුවෙනි.

පිත්තට අමතරව පන්දුව ද අතට ගත් ජෝ රූට් ට එම කඩුල්ලේ අයිතිය හිමි වුවත් එහි පූර්ණ ගෞරවය බෙයාර්ස්ටෝට හිමිවිය. ඊළඟ පන්දුවේදී අසිත ප්‍රනාන්දුව දවා ගත් ජෝ රූට් තම පන්දු යැවීම පන්දුවාර 1.5 කදී ලකුණු ලබා නොදෙමින් කඩුලු 2 ක් දවා ගත්තේය.  එංගලන්ත නායකයාට අමතරව ඩොම් බෙස් සහ ජැක් ලීච් කඩුලු 4 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest