slc
Home   |    News
ජනවාරි 22, 2021
මැතිව්ස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ප්‍රවේශයක්

sinhala editor

Chamila Karawita reporting from Galle

ජ්‍යෙෂ්ඨත්වයේ වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් රැස් කරන ලද වටිනා ශතකය හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (22 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේදීම කඩුලු 4 කට ලකුණු 229 ක් වශයෙන් සාර්ථක ප්‍රවේශයක් ගොඩ නඟා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

ලකුණු 07 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් වඩාත් ගරු කරමින් පන්දුවට පහර දීමට සමත් වූ හෙයින් සිය 11 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගැනීම සඳහා පුරා පැය 6 කට වැඩි කාලයක් පිටියේ රැඳී සිටියේය. දුර්වල පන්දු පැමිණෙන තෙක් ඉවසිලිවන්තව ක්‍රීඩා කළ මැතිව්ස් මුහුණ දුන් 207 වැනි පන්දුවේදී තම ශතකය සම්පූර්ණ කර ගත්තේය.

දිනයේ කැපී පෙනෙන පිතිකරුවා වුණු ඇන්ජලෝ මැතිව්ස් පළමු දිනට ක්‍රීඩාව අහවර කරන විට පන්දු 228 කට මුහුණ දී ලකුණු 107 ක් ලබා සිටියේය. තම ඉනිම හතරේ පහර 11 කින් පමණක් වර්ණවත් කරගැනීමට මැතිව්ස් වගබලා ගනිද්දී අනෙක් අන්තයේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල පන්දු 60 කට මුහුණ දෙමින් ලකුණු 19 ක් ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට (23 දා) දිනයේදීත් පන්දුවට පහර දීමේ සූදානමින් පසුවෙති.

ලීච්ගේ පන්දුවක් කවර් කළාපයට තල්ලු කර හරිමින් ශතකය සම්පූර්ණ කර ගැනීමත් සමඟ 2015 වසරෙන් පසු පළමු වතාවට මැතිව්ස් තම මව්බිමේදී ශතකයකට හිමිකම් කීවේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මැතිව්ස් ක්‍රීඩා කරන ලද 20 වැනි තරගය බවට පත් වුණු මේ තරගයේදී ඔහු රැස් කරන ලද පළමු ශතකය බවට පත්වූවේද එංගලන්තයට එරෙහිව අද රැස් කරන ලද ඉනිම වේ.

ස්ටුවර්ට් බ්‍රෝඩ් වෙනුවට කණ්ඩායමට කැඳවා තිබූ ජේම්ස් ඇන්ඩර්සන් පන්දු 5 ක් ඇතුළත කුසල් පෙරේරා සහ ඕෂද ප්‍රනාන්දුව දවා ගන්නා විට ලකුණු පුවරුව 07 ක් ලෙසින් සටහන් විය. පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වුණු සිදුවීමෙහි කාබන් කොපියක් බවට පත්වීමට අවකාශ විවර වුණු උදෑසන වරුවේදී ළහිරු තිරිමාන්නට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව ස්ථාවරත්වයකට කැඳවාගෙන යෑමේ මූලික අඩිතාලම එලූහ.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට වඩා හාත් පසින් වෙනස්ම තරග රටාවකට අනුගත වුණු මොවුන් දෙදෙනා දිවා ආහාරය වන තෙක් කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. එහෙත් දිවා ආහාරයෙන් පසු යළිත් ක්‍රියාත්මක වුණු ඇන්ඩර්සන් විසින් පිට එන්න මඳක් එළියට පතිත වන සේ දෝලනය කරමින් යවන ලද පන්දුව පිත්තේ පිටත දාරයේ වැදීම නිසා අර්ධ ශතකයට ලකුණු 7 ක් තිබියදී තිරිමාන්නට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඇන්ඩර්සන්විසින් තිරිමාන්නව දවා ගන්නා ලද 8 වැනි අවස්ථාව ලෙසින් අද දැවී යෑම සටහන් විය.

දිනයේ සාර්ථකම සම්බන්ධතාවයේ ආරම්භය සනිටුහන් වූයේ ඉන් අනතුරුවය. තෝරා බේරා ගනිමින් පන්දුවට පහර දුන් මැතිව්ස්ට එක් වුණු චන්දිමාල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක් රැස් කළේ එංගලන්ත වේග පන්දු යවන්නන්ගේ දැඩි ග්‍රහණය මධ්‍යයේය. පැයට කිලෝ මීටර 150ට වඩා වේගයෙන් පන්දු යැවූ  මාක් වුඩ්ට මෙන්ම දෝලනයකින් යුතුව පන්දු යැවූ ඇන්ඩර්සන්ට ගරු කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දුන්නා හැරෙන්නට කිසිම අවස්ථාවක හිතුවක්කාර පහර  කරා නොයෑමට වග බලා ගත්හ. ඒ අතරතුර සිය ටෙස්ට් තරග දිවියේ 20 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත්වූවේය.

ලෙග් ස්ලිප් ස්ථානයේ පන්දු රකින්නකු රඳවමින් ශරීරය හරහා යොමු කරනු ලබන පන්දුවකට කොයි මොහොතේ උඩ පන්දුවක් ලබාදේවි යන බලාපොරොත්තුව චන්දිමාල් තුළ ජනිත කරවමින් පන්දු යැව්වද මාක් වුඩ්ගේ සැලසුම වූයේ වෙනකකි. පිට ඉන්නට පිටතින් පතිත කරමින් ඉපිලීමකින් යුතුව චන්දිමාල්ගේ ශරීරය තුළටම පන්දු වැළක් යොමු කළ වුඩ්, එක වරම පාදය ඉලක්ක කර ගනිමිනි පන්දුවක් යොමු කළේය. එල්ල කරන ලද ග්ලාන්ස් පහර වැරදී යෑමෙන් එය පා ආවරණයේ වැදුණු අතර විනිසුරු කුමාර් ධර්මසේනගේ තීරණය වූයේ එය දැවී යෑමක් බවයි.

තෙවැනි විනිසුරුගේ විමසීම කෙරෙහි නායකයා උනන්දු වූ නමුත්, තෙවැනි විනිසුරු විමසීම වෙනුවෙන් හිමි අවස්ථාවෙන් එකක් අහිමිවීම හැර පිටියේ විනිසුරුගේ තීරණයෙහි වෙනසක් නොවීය. පන්දු 121 කට මුහුණ දුන් චන්දිමාල් ලබා ගන්නා ලද ලකුණු 52 සදහා හයේ පහරක් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම වර්ණවත් කරගත්තේය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest