slc
Home   |    News
ජනවාරි 16, 2021
ශ්‍රී ලංකා පිතිකරුවෝ සටනට බසිති

sinhala editor

Chamila Karawita reporting from Galle

ලකුණු 286 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාවය හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට (16 දා) තරගය නිමා කරන විට කඩුලු 2 කට ලකුණු 156 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කර දමන විට ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා පිලට තවත් කඩුලු 8 ක් ඇතුළතදී ලකුණු 130 ක් ලබා ගත යුතුව තිබේ. තරගය නිමා කරන විට ළහිරු තිරිමාන්න ලකුණු 76 ක් සහ සැඳෑ පිතිකරුගේ වගකීම ගෙන පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාද කඩුල්ලේ රැඳී සිටිති.

ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිම 50 කට වැඩියෙන් ක්‍රීඩා කර සිටින පිතිකරුවන් අතර අවම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරුවා බවට පත්ව සිටින ළහිරු තිරිමාන්න රැස් කරන ලද එම ලකුණු සංඛ්‍යාව 2013 වසරෙන් පසු හෙවත් වසර 7 කට පසු ඔහු ක්‍රීඩා කරන ලද හොඳම ඉනිම බවට පත්විය. මීට පෙර ඔහු මෙම ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු රැස් කරගැනීමට සමත්ව ඇත්තේ 2013 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 93 ක ඉනිම වේ.

නායක ජෝ රූට්ගේ සිව්වැනි ද්විත්ව ශතකය හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (15 දා) පළමු ඉනිමේදී ලකුණු 286 කින් පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. දිවා භෝජනයට මිනිත්තු කීපයකට පෙර ඩිල්රුවන් පෙරේරා විසින් අවසන් කඩුල්ල ලෙසින් රූට්ගේ කඩුල්ල දවා ගන්නා විට එංගලන්ත පිල පළමු ඉනිම සඳහා ලකුණු 421 ක් රැස් කර තිබිණ.

ඉනිමක පරාජයෙන් බේරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 287 කට වැඩියෙන් ලබා ගත යුතු වන අතර ඒ සියළු වගකීම පිතිකරුවන්ගේ කර මත පැටවී තිබේ. එංගලන්ත පිලට අභියෝගයක් ලබා දීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් එම ලකුණු සංඛ්‍යාව පසු කර යා යුතු වන අතර  ඒ සඳහා අද දිනයේ ඉතිරිව තිබෙන පන්දුවාර 74 ට අමතරව තවත් පූර්ණ දින 2 ක් තරගයේ ඉතිරිව තිබේ. කෙසේ වෙතත් මාක් වුඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද කට් පහර බැක්වර්ඩ් පොයින්ට් කළාපයේ පන්දු රැකී ඩොම් සිබ්ලි බිම නොදමන්නට තිරිමාන්නගේ ඉනිම ලකුණු 51 කදී හමාර වනු ඇත.

තිරිමාන්න සහ කුසල් පෙරේරා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පවත්වන ලද ලකුණු 101 සම්බන්ධතාවය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඉනිම 6 දී පන්දුවාර 10 කට වඩා ක්‍රීඩා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය. කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දුන් කුසල් සෑම් කරන්ගේ පන්දුවකට කට් පහරක් සඳහා පෙළැඹුණු නමුත් පහර එල්ල කිරීමේදී යටි අත පිත්තෙන් ගිලිහිණි. මෙම තත්ත්වය මත පහරේ පාලනය මුළුමනින්ම ගිලිහී ගිය බැවින් එහි ප්‍රතිඵලය වූයේ උඩ පන්දුවක් ලෙසින් ඩීප් කවර් කළාපයේ පන්දු රැකි ජැක් ලීත් රැක ගැනීමය. ඒ වන විටත් හයේ පහරක් සහ හතරේ පහර 5 කින් ඉනිම වර්ණවත් කරගෙන සිටි කුසල් ලකුණු 62 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව සැලකිය යුතුම මට්ටමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් පහර එල්ල කළද නිවැරදි ඉලක්කයට පන්දු යැවූ ස්ටුවර්ට් බ්‍රෝඩ් යවන ලද පන්දුවාර 8 න් 6 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් යැවීසම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පිලේ එකම පිතිකරුවකු හෝ දවා ගැනීමට ඔහු සමත් නොවුණත් ඔහුට එරෙහිව ලබාගෙන තිබුණේ ලකුණු 04 ක් පමණි. අවසන් ඉනිම 4 දී ලකුණු ලබා ගැනීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් අද දිනයේදී පිටිය තුළ කිසියම් විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට සමත්වූවේය. ජැක් ලීච්ගේ තියුණු ලෙස දඟ කැවී ආ පන්දුව අත් ආවරණ වල වැදී උඩ පන්දුවක් බවට පත්වීම නිසා මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 15 කදී නිමා විය.

නායකත්වයට පත්වීමෙන් පසු රැස් කරන ලද දෙවැනි ද්විත්ව ශතකය ලෙසින් සටහන් වුණු රූට් ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී යන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 421 ක් සටහන්ව තිබිණි.  පන්දු 321 කින් සමන්විත වුණු රූට්ගේ ලකුණු 228 ක ඉනිම සඳහා ඔහු එක් හයේ පහරක් සහ තවත් හතරේ පහර 18 ක් එල්ල කර තිබුණි.

රූට් විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්ත පිතිකරුවකු ආසියානු තණතීරුවලදී රැස් කර ගන්නා ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මෙහි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිටපු එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් (නොදැවී 263) සතුව පවතියි.

නායකත්වයට පත්වීමෙන් පසු රැස් කරන ලද දෙවැනි ද්විත්ව ශතකය බවටද පත්වුණු මෙම ඉනිමේදී ටෙස්ට් ලකුණු 8000 සීමාවද ඉක්මවා යෑමට රූට් සමත්විය. එංගලන්තය වෙනුවෙන් එම දස්කම දක්වන ලද හත්වැනි ක්‍රීඩකයා බවට පත් වුණු රූට්, අඩුම ඉනිම සංඛ්‍යාවකදී එවැනි දස්කමක් දක්වන ලද දෙවැනි පිතිකරුවා බවට පත්විය. ක්‍රීඩා කරන ලද 178 වැනි ඉනිමේදී රූට් එම දස්කම දක්වද්දී ඊට ඉනිම 2 ක් අඩුවෙන් ලකුණු 8000 සීමාව ඉක්මවා යෑමට කෙවින් පීටර්සන් සමත්ව තිබේ.

තෙවැනි දිනය ආරම්භයේදී එංගලන්ත පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට එරෙහිව එංගලන්ත පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කළ හෙයින් 105 වැනි පන්දුවාරය යැවීමේ වගකීම අසිත ප්‍රනාන්දුට පැවැරිණි. එංගලන්ත ඉනිමේ ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාර 100 න් පන්දුවාර 9 ක් පමණක් යවා තිබූ අසිත, පිට පන්දු දෙකකදී ජොස් බට්ලර් සහ සෑම් කරන්ගේ කඩුලු දවා ගනිමින් ක්ෂණික සාර්ථකත්වයක් අත්කර දුන්නේය. ඊළඟ පන්දුවට මුහුණ දීම සඳහා පැමිණි ඩොම් බෙස් තම කඩුල්ල ආරක්ෂා කරගත් බැවින් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව අසිතට අහිමි විය.

බට්ලර් හැරුණු කොට එංගලන්ත අවසන් පිතිකරුවන් පස් දෙනාම රැස් කරගැනීමට සමත්වූයේ ලකුණු 17 ක් පමණි. පෙර දිනයේ ලකුණු 7 ක් රැස් කරගෙන සිටි බට්ලර් තවත් ලකුණු 27 කින් අද දායකත්වය ලබා දෙද්දී ඉතිරි ලකුණු 60 ම රූට්ගේ පිත්තෙන් වාර්තා විය. ඉනිමේ අවසන් කඩුලු 3 හිමිකරුවා බවට පත් වුණු ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 109 කදී කඩුලු 4 ක් දවා ගත්තේය. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 ක් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් කඩුලු 2 ක් සටහන්විය. හෙට තරගයේ සිව්වැනි දිනයයි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest