slc
logo
Home   |    News
ජනවාරි 17, 2021
50 ක් ගැහුවත් සෑහීමකට පත් වෙන්න බෑ – කුසල් පෙරේරා

sinhala editor

Chamila Karawita reporting from Galle

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු දින 2 තුළදී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීමේ නරක ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට වඩා සංචාරකයින් පළමු ඉනිමේදී ලකුණු 286 කින් ඉදිරියට ඒමය. ඒ අනුව ඉනිමක පරාජයේ බේරීමේ අවධානමකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමට වඩා දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා එම පරතරය ලකුණු 130 දක්වා අඩු කර ගැනීමට සමත්ව සිටින්නේ තවත් කඩුලු 8 ක් අත තබාගෙනය.

පළමු ඉනිම ලකුණු 135 ක් තුළ හමාර වීම, තමා දුටු නරකම පිතිහරඹය ලෙසින් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්  සඳහන් කර සිටිද්දී එදිනම එංගලන්ත පිතිකරුවන් කඩුලු 2 කට ලකුණු 127 ක් ලබා ශ්‍රී ලංකා පළමු ඉනිමේ ආසන්නයටම පැමිණියේය. එපමණක් නොව දෙවැනි දිනය තුළ එම ලකුණු සංඛ්‍යාව 320 දක්වා ඉහළ දමා ගනු ලැබුවේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමිනි. මේ සියල්ල මේ සියල්ල විඳ දරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනය තුළ එංගලන්ත කණ්ඩායම ඉතිරි කඩුලු 6 ම දවා ගනිමින් තරගයට යළිත් අවතීර්ණ විය.

ඒ අනුව ඉනිම ඇරැඹි කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න එංගලන්ත පන්දු යවන්නන් හමුවේ නොසැලී පන්දුවට පහර දීම ශ්‍රී ලංකාවට කිසියම් සැනසිලිදායක තත්ත්වයක් කැඳවන්නක් විය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවයක් පවත්වමින් ලබා දුන් සාර්ථක ආරම්භයත් සමඟ තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 156 ක් ලබා තරගය තුළ කිසියම් ප්‍රගතියක් ලබා ගැනීමට සමත්වී සිටියි. එහිදී කැපී පෙනුණු කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුණි.

“අර්ධ ශතකයක් ලබා ගැනීමට හැකිවීම ගැන සතුටුයි. නමුත් ඒ ඉනිම ගැන මට සෑහීමකට පත් වෙන්න බෑ, මොකද ගොඩක් හොඳට පන්දුවට පහර දෙමින් ඉන්න කොට ඒ වගේ පහරක් ගහලා දැවී යනවා කියන්නේ ඇත්තටම මගේ පැත්තෙන් විශාල කණගාටුවක් තියෙනවා. මට ගොඩක්ම කල්පනා කරන්නෙත් කොහොමද මම ලකුණු 60 සීමාවෙන් එහාට යන්නේ කියලා” යි තරගයෙන් අනතුරුව කුසල් පෙරේරා සඳහන් කර සිටියේය.

2014 වසරේදී ඉන්දියාවට එරෙහිව රැස් කරන ලද අර්ධ ශතකයෙන් පසු  කුසල් විසින් තම මව්බිම තුළදී වාර්තා කරන ලද පළමු අර්ධ ශතකය ලෙසින් එංගලන්තයට එරෙහිව රැස් කරන ලද ලකුනු 62 සටහන් වේ. ඒ අතර තුර කාලයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 49 කුසල්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර ඇති කුසල් පෙරේරා මව්බිම තුළදී වාර්තා කරන ලද ශතක 2 කට හිමිකම් කීවද එම ශතක 2 ම ශ්‍රී ලංකාවෙන් එතරදී වාර්තා කරගෙන තිබේ. සිම්බාබ්වේට එරෙහිව 2016 වසරේදී හරාරේහි රැස් කරන ලද ලකුණු 110 ත්, 2019 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 153 ක වාර්තාගත ශතකයත් එම ශතක වේ. ඒ අතරතුර කාලයේදී රටින් පිටතදී අර්ධ ශතක වාර්තා කිරීමට කුසල් සමත් වී ඇතත් ඒ එකම අවස්ථාවකදී හෝ ලකුණු 64 සීමාව ඉක්මවාලීමට අපොහොසත්වීම කැපී පෙනෙයි.  

“අන්තිමට ක්‍රීඩා කරපු ඉනින් වල 50 ගහලා තියෙවා. නමුත් ලකුණු 100 ක් ගහන්න මට වුණා. ඇත්තටම මම ගොඩක් කල්පනා කරන්නේ කොහොමද මේ සීමාවෙන් එහාට යන්නේ කියලා. ඇත්තටම කියනවා නම් ලකුණු 60 ක් ගැහුවත් මම ඒ ගැන සෑහීමකට පත් වෙන්නේ නෑ” යි ඒ පිළිබඳව අදහස් දැක්වූ කුසල් සඳහන් කළේය.

සෑම් කරන්ගේ පන්දුවකට කට් පහරක් සඳහා පෙළැඹුණු නමුත් පහර එල්ල කිරීමේදී යටි අත පිත්තෙන් ගිලිහිණි. මෙම තත්ත්වය මත පහරේ පාලනය මුළුමනින්ම ගිලිහී ගිය බැවින් එහි ප්‍රතිඵලය වූයේ උඩ පන්දුවක් ලෙසින් ඩීප් කවර් කළාපයේ පන්දු රැකි ජැක් ලීත් රැක ගැනීමය.

“මම දැවී ගිය ඇත්තටම දුර්වල පන්දුවක්. ඒත් බෝලෙ වැදුණු හින්දා මගේ අත ගොඩක් රිදි රිදි තිබුණේ. ඒ වේදනාව තියාගෙනතමයි සෙල්ලම් කළේ. අපි දන්නවා ටෙස්ට් තරගයකදී දුර්වල පන්දුවට තමයි අපි ලකුණු ගන්න බලාගෙන ඉන්නේ. 100% ක්ම කියන්න බෑ මේ දැවී යෑමට මගේ අතේ වේදනාව බලපෑවද කියලා. මොකද මට ඒක ඒ වෙලාවේ තේරුණේ නෑ. ඒත් මගේ අතින් බැට් එක එක මොහොතකදී අත ඇරෙනවා. පොඩි හරි දෙයක් වෙන්න ඇති. ඒ වගේ බෝලෙකට අවුට් වෙනවා කියන්නේ ඒක පන්දු යවන්නටත් බෝනස් එකක්” යැයි කුසල් තමා එල්ල කරන ලද පහර පිළිබඳව කණගාටුව පළ කළේය.

තරගය මෙතරම් ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී යෑමට, පළමු ඉනිමේ දක්වන ලද දුර්වල පිතිහරඹය හේතු වූ බවද කුසල් මෙහිදී අවධාරණය කර සිටියේය. “ඇත්තටම බැටිං යුනිට් එකක් විදියට මමත් ඇතුළුව පළමු ඉනිමේදී අපි සෙල්ලම් කරපු විදියට කීයටවත් පිළිගන්න බෑ. මොකද අපි විසින්ම කර වැරදි වලට තමයි දැවී යෑම් සිද්ධ වුණේ. ඒත් පළමු දිනයට වඩා දැන් තණතීරුව පන්දුවට පහර දෙන්න ඉතාම හොඳයි. දඟ කැවීම ටිකක් වැඩි වුණත් ඉවසිලිවන්තම පන්දුවට පහර දුන්නොත් මේ තණතීරුවේ ලකුණු ගහන්න හැකියාව තියෙනවා. සිව්වැනි දවස තමයි ඉතාම වැදගත්. එතැනදි ඊළඟට ඉන්න පිතිකරුවන් බලන්න ඕන සෙෂන් එකෙන් සෙෂන් එකට ක්‍රීඩා කරන්න” යනුවෙන් කුසල් අදහස් දක්වයි.

“එක්දින තරග වලදී මම ආරම්භක පිතිකරුවකු විදියට කටයුතු කරන්න මම ගොඩක් කැමැතියි. ටෙස්ට් වලදී මම ගොඩක් ලකුණු අරන් තියෙන්නේ මැදින්. ඒත් දකුණු අප්‍රිකාවේදී කණ්ඩායමට අවශ්‍යතාවයක් එනවා මාව ඕපන් කරලා තරගයට හොඳ ‘ගැම්මක්’ ගන්න. පුහුණුකරුත් නායකයා කතා කරාම ඒ අභියෝගය මම භාර ගත්තා. ඇත්තම කියනවා නම් ඒක මට අභියෝගයක් මොකද ඕන කෙනෙක් කැමැති තමන් ලකුණු ගහලා ඉන්න තැනින් ක්‍රීඩා කරන්න. ඒත්මේ අභියෝගය මම ගත්තා. ඒකට පුලුවන් තරම් සාධාරණයක් ඉෂ්ඨ කරන්න මගේ පැත්තෙන් මම බලනවා” යි කුසලපෙරේරා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar