slc
Home   |    News
පෙබරවාරි 18, 2021
ධනුෂ්ක-භානුක-පැතුම්-දසුන්-චමීර පුහුණු තරගයේ දක්ෂතා අතරට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති විස්සයි-20 පුහුණුතරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සමත්විය.

පන්දුවට පහර දීමෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද කැපී පෙනෙන දක්ෂතා වාර්තා වුණු මෙම තරගයේදී ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ පැතුම් නිස්සංක පිත්තෙන්ද දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර පන්දු යැවීමෙන්ද කැපී පෙනෙන දක්ෂතා වාර්තා කළහ.

දසුන් ශානකගේ සහ ඉසුරු උදාන නායකත්වය උසුලමින් පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉසුරු උදානගේ පිල නියමිත පන්දුවාර 20 අවසනසදී ලකුණු 143 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දසුන් ශානකගේ පිල නියමිත ඉලක්කය කඩුලු 2 ක් පමණක් දැවී තිබියදී රැස් කර ගැනීමට සමත්විය.

එහිදී කැපී පෙනුණු ධනුෂ්ක ගුණතික පන්දු 55 කදී වේගවත් ලකුණු 82 ක් ලබා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්ව රැස් කරන ලද මෙම සුවිශේෂී ඉනිමට අමතරව ඉනිම ඔහු සමඟ ඉනිම ඇරැඹි පැතුම් නිස්සංක ලකුණු 40 ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. තවමත් ජාත්‍යන්තර තරග වරම් දිනා නොමැති පැතුම් එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේදී පන්දු 38 ක් පමණක් වැය කළ අතර, ඉනිම හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගත්තේය.

දසුන් ශානකගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉසුරු උදානගේ කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ භානුක රාජපක්ෂ පන්දු 28 කදී වේගවත් ලකුණු 50 ක් රැස් කළේය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 කින් අලංකාර වුණු ඔහුගේ ඉනිමට අමතරව පළපුරුදු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 ක් ලබා ගනිමින් පිත්තෙන් දායකත්වය ලබා දුන්නේය.

කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 23 වැනිදා කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest