slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2021
LPL ගනුදෙනු ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි

sinhala editor

අති සාර්ථකව අවසන් වුණු ලංකා ප්‍රිමියර් ලීග් (LPL)  ක්‍රිකට් තරගාවලියෙහි සංවිධාන කටයුතු සිදුකරන ලද ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදුකළ යුතු ගෙවීම් පැහැර හැර ඇති බව පෙන්වා දෙමින් මෑතකදී පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධව කරුණු පැහැදිළි කිරීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද විවෘත ටෙන්ඩර් පටිපාටියකට අනුව 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ වසර 5 ක කාලය තුළ LPL තරගාවලියේ සංවිධානය කටයුතු IPG ආයතනය වෙත ප්‍රදානය කෙරුණු අතර එම ගිවිසුම්ගතවීමේදී පළමු වසර සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 1.925 (ඇ.ඩොලර් 1,925,000/=) ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවීමට එම ආයතනය බැඳී සිටිනු ඇත.

ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේදී ගතවූ 2020 වර්ෂය සඳහා ගෙවිය යුතු අයිතිවාසිකම් ගාස්තුවෙන් ඩොලර් එක් ලක්ෂ පනස්දහසක මුදලක් (ඇ.ඩොලර් 150,000/=) IPG ආයතනය විසින් ලංසු ඇපයක් ලෙසින් ගෙවා තිබෙන අතර එම මුදලට අමතරව ඇමරිකානු ඩොලර් අටලක්ෂ පනස් දහසක් (ඇ.ඩොලර් 850,000/=) මුදලක්ද මේ වන විට එම ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවා තිබේ. ඒ අනුව IPG ආයතනය විසින් ගෙවා තිබෙන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියනයකි.

තරගාවලිය පැවැති ඔක්තෝම්බර් මසදී අනපේක්ෂිත ලෙසින් යළි කොවිඩ්-19 වසංගත රැල්ලක් ඇතිවීමත්, ඒ හරහා, සංචාරක සීමාවන් පැනවීම නිසා ගුවන් ගමන් වෙනුවෙන්, නීරෝධායන නීති ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය යන කරුණු වෙනුවෙන් අමතර පිරිවැයක් දැරීමට සිදුවීමත්, අනුග්‍රාහකයින් සොයා ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැතිවීමත් සහ ප්‍රවේශ පත්‍රවලින් ලැබීමට නියමිතව තිබූ ආදායම අහිමිවීමත් ආදී අවිනිශ්චිතතා සඳහන් කරමින් තමන්ට සහනයක් සලසා දෙන ලෙස IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව එම ඉල්ලීම සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව, අයිතිවාසිකම් ගාස්තු යටතේ ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවා දැමීම සඳහා IPG ආයතනයට අවසර ලබාදෙනු ලැබීය.

එමෙන්ම ලබන 2023 වසර දක්වා කාල සීමාවේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී රූපවාහිනී නිෂ්පාදන සේවා සැපයීම සඳහා වූ ගිවිසුමකට IPG ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතවී සිටින අතර එහි සමස්ථ නිෂ්පාදන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.3 ක් වේ.

එම ගිවිසුමට අනුව යමින් නිෂ්පාදන වියදම වෙනුවෙන් IPG ආයතනය වෙත ලබා දිය යුතු මුදලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක (ඇ.ඩොලර් 200,000/=) මුදලක්, LPL තරගාවලියෙන් ලැබීමට නියමිත මුදල්වලින් හිලව් කරදැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ඒ අනුව LPLතරගාවලියේ සංවිධාන කටයුතු සිදු කිරීමේදී 2020 වසරට අදාළ ලැබිය යුතු මුළු මුදල බවට පත්ව තිබෙන්නේ ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ විසි පන්දහසක (ඇ.ඩොලර් 725,000/=) මුදලක් වන අතර එම මුදල ඉදිරි 201 වසරේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය ආරම්භවීමට පෙර පොලී මුදල් සමඟම අයකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest