slc
Home   |    News
මාර්තු 8, 2021
අතේ තිබූ ජය කොදෙව්වෝ උදුරා ගනිති

sinhala editor

පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගියද වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාර 12 දී ලකුණු 20 ක් ලබාගැනීමේ අභියෝගය කොදෙව් කණ්ඩායම මත පැටවිණ. එහෙත් අකිල ධනංජය විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේදී දැවැන්ත හයේ පහර 3 ක් එල්ල කළ ෆේබියන් ඇලන්, ශ්‍රී ලංකාව අතේ තිබූ ජයග්‍රහණය උදුරා ගත්තේය. ජයග්‍රාහී හයේ පහර ඇලන්ගේ පිත්තෙන් එල්ල වන විට කොදෙව් ලකුණු පුවරුවේ පන්දු 6 ක් සහ කඩුලු 3 ක් ඉතිරිව තිබිණ.

පිත්තෙන් දක්වන ලද දක්ෂතා වලට අමතරව පන්දු යැවීමේදී සිය පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමටද ඇලන් සමත්වූවේය. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 න් 3 ක්ම පවර් ප්ලේ අවස්ථාවේදී යවන ලද ඒවා විය. එම දක්ෂතාවය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 27 ක් වන අතර එහිදී කඩුලු 3 ක්ම දැවී යෑම දැවැන්ත පාඩුවක් විය. තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගයේ වීරයා සම්මානයෙන්ද ෆේබියන් ඇලන් පිදුම් ලැබීය.

පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු 36 දී කඩුල්ලක් දැවී ලකුණු 53 ක් රැස් කරමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වුවද වනිඳු හසරංගගේ පන්දු යැවීමට කැඳවීමත් සමඟ යළිත් වරක් කොදෙව් පිතිකරුවෝ පසුපසට තල්ලු වූහ. එහිදී සාර්ථක වුණු වනිඳු එවින් ලුවිස් සහ ලෙන්ඩ්ල් සිමන්ස්ගේ කඩුලු දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා දීමට සමත්වූවේය. සිය සහායකයා ලබාගත් ආරම්භය එලෙසින්ම පවත්වාගත් චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් පිට පිට පන්දු දෙකකදී රොව්මන් පවෙල් සහ ඩ්වයින් බ්‍රාවෝගේ කඩුලු ද සමඟ දවාගත් කඩුලු 3 ත් දුෂ්මන්ත චමීර දවාගත් කඩුලු 2 ත් හේතුවෙන් කොදෙව් හඹා යෑමට දැඩි බලපෑමක් එල්ල කළේය. පළමු තරගයේ පරිදිම දැවැන්ත ප්‍රහාරයකට ලක් වුණු අකිල ධනංජයගේ පන්දුවාර 4 දී ලකුණු 52 ක් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියද 5 වැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ අෂේන් බණ්ඩාර ලකුණු 85 ක් රැස් කරමින් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූහ. පන්දු @ කදී වාර්තා වුණු මෙම නොබිඳුණු සම්බන්ධතාවය වාර්තා වූයේ විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් 5 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සබඳතාවය ලෙසිනි. එම සම්බන්ධතාව මත නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 131 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව විවර විය.

පළමු තරග 2 ට ම වඩා මන්දගාමී වුණු කූලිජ් තණතීරුවේදී ඇලන්ට අමතරව වැඩි වාසි ලබා ගත් කෙවින් සින්ක්ලෙයාර් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීම අඩපණ කළේය. පන්දු යැවී ෆේබියන් ඇලන් පෙරළා රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන් පෙර තරගයේ වැඩිම ලකුණු ලාභියා වුණු ගුණතිලකගේ ඉනිම ලකුණු 9 කදී නිමාවට පත්විය.

එසේ ලබා ගත් සාර්ථක ආරම්භය 10 වැනි පන්දුවාරය වන තෙක්ම රඳවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ලකුණු පුවරුව ලකුණුඅ 47 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් චන්දිමාල්ට එක් වුණු අෂේන් බණ්ඩාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 44 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. බණ්ඩාර සමඟ ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් හතරේ පහර 3 ක් සමඟින්පන්දු 46 කදී ලකුණු 54 ක් ලබා සිටියේය.

තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායමට හිමිවද්දී තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හිමිවිය. කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරග 3 දී ලකුණු 42 කට කඩුලු 8 ක් දවා ගනිමින් දක්වන ලද දක්ෂතාව හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානයෙන් වනිඳු පිදුම් ලැබුවේය.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාගණයේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest