slc
logo
Home   |    News
මාර්තු 30, 2021
නායකත්වයේ ඉනිමෙන් කොදෙව්වෝ හිස ඔසවති

sinhala editor

ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ නායකත්වයේ ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව 29 වැනිදා ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 7 කට ලකුණු 287 ක් වශයෙන් සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලැබිණ.

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේම පැවැත්වෙන මෙම තරගයේදී සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ වඩාත් වික්‍රමාන්විත අයුරින් සිය පිත්ත ක්‍රියා කළ කොදෙව් නායකයා ගොඩ දමන ලද්දේ ලකුණු 15 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබුණු කොදෙව් ඉනිම විය. එහිදී මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සමඟ මනා හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගනිමින් සාර්ථක කඩුලු සම්බන්ධතාවයක් ඇති කරගත් දකුණත් පිතිකරුවා සිය ඉනිම හතරේ පහර 11 කින්ද සාර්ථක කර ගනිමින් කඩුල්ල ආරක්ෂා කර ගන්නා ලද්දේ සිය ටෙස්ට් තරග දිවියේ 9 වැනි ශතකයට ලකුණක් පසුපසින් සිට ගනිමිනි. බ්‍රැත්වයිට් දිනය අවසන් වන විට ලකුණු 99 ක් ලබාගෙන සිටියේ පන්දු 239 ක් පුරා සිය නොබිඳුණු ඉනිම පවත්වාගෙන යමිනි.

දිනය ආරම්භයේදීම කොදෙව් පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ලබා දුන් සුරංග ලක්මාල් පළමු පැය භාගය ඇතුළත ජෝන් කැම්බෙල් සහ න්කෘමා බෝනර්ගේ කඩුලු දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. රැක ගත හැකි මට්ටමේ උඩ පන්දුද ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යෑමෙන් වරම් ලබාගත් සත්කාරක පිතිකරුවෝ සෙමෙන් සෙමෙන් ලකුණු රැස් කිරීමේ ඉලක්කය කරා කොදෙව් පිල රැගෙන ගියහ. එහිදී කඩා වැටෙන සෑම අවස්ථාවකදීම සාර්ථක කඩුලු සම්බන්ධතා ගොඩ නැංවීමට කොදෙව් නායකයා සමත්වූවේය.

ප්‍රථමයෙන්ම කයිල් මේයර්ස් සමඟ එක්වන බ්‍රැත්වයිට් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක්ද සහ ජේසන් හෝල්ඩර් සමඟ එක්වෙමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක්ද එක් කළහ. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 222 කට කඩුලු 7 ක් දැවී ගොස් තිබියදී කෝන්වෝල් සමඟ එක් වුණු බ්‍රැත්වයිට් 8 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 65 ක සම්බන්ධතාවක් එක් කළේ කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 300 ඔබ්බට රැගෙන යෑමට අවශ්‍ය වට පිටාව නිර්මාණය කර දෙමිනි. එහිදී කෝන්වෝල්ගේ දායකත්වය පන්දු 54 කදී ලකුණු 43 කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු දිනයේදී සාර්ථකම පන්දු යවන්නා වුණු සුරංග ලක්මාල් දිනයේ යවන ලද පන්දුවාර 6 ම නිලකුණු පන්දු වාර ලෙසින් යොමු කිරීම කැපී පෙනුණි. කොදෙව් පිතිකරුවන් දැඩි පීඩනයකට ඇද දැමුණු සුරංගගේ පන්දු යැවීම දිනය අවසන් වන විට ලකුණු 71 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. ඔහුට අමතරව විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ග්‍රහණය වැඩි කරමින් පන්දු යැව්වද ආරම්භයේ සිටම බ්‍රැත්වයිට්ගේ අරමුණ වූයේ පිටියේ රැඳී සිටීම විය. එහිදී ඔහු පළමු ලකුණු ලබා ගන්නා ලද්දෙ මුහුණ දුන් 18 වැනි පන්දුවේදීය. කෙසේ වෙතත් දුර්වල පන්දු එන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට තරම් ඔහුගේ ඉවසීම ඉතා ඉහළ මට්ටමක පැවැතිණ. මේ සියල්ල අතර පෙර සඳහන් කර පරිදි ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පන්දු රැකීම පිළිබඳව සෑහීමකට පත්විය හැකි මට්ටමේ නොවුණේ රැක ගත හැකිව තිබූ උඩ පන්දු 3 ක්ම ගිලිහී යෑම හේතුවෙනි. ලබා දුන් එම අවස්ථාවන් අතර වටිනාම අවස්ථාව බවට පත්වූයේ කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වුණු බ්‍රැත්වයිට් විසින් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට ගලී ස්ථානයේ පන්දු රැකි ඕෂද ප්‍රනාන්දු වෙත ලබා දුන් උඩ පන්දුව විය. එම උඩ පන්දුව රැක ගැනීමට ඕෂද සමත්වූවේ නම් කොදෙව් නායකයා ඉනිම ලකුණු 37 දී නිමා වනු ඇත.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar