slc
Home   |    News
මාර්තු 25, 2021
නිස්සංක සහ දික්වැල්ලගේ ඉනිම හේතුවෙන් සියලු වාසි ශ්‍රී ලංකාව දෙසට හැරෙයි

sinhala editor

ගෙවීගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුණු පැතුම් නිස්සංකගේ ශතකයත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලල එක්ව ගොඩනංවන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාවයත් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය.

තරගය ජය ගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 375 ක අසීරු ඉලක්කයක් හඹා යමින් සිටින කොදෙව් කණ්ඩායම බදාදා (24 දා) පස්වරුවේ තරගය නතර කර දමනා විටත් ලකුණු 34 ක් ඇතුළත කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.

දුෂ්මන්ත චමීර විසින් පිට ඉන්නෙන් පිටතට යවන ලද පන්දුවට කෘමා බෝනර් ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යෑමේදී එය උඩ පන්දුවක් ලෙසින් නිරෝෂන් දික්වැල්ල රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීම විනිසුරු නිෂ්ප්‍රභා කරන ලදී. එහෙත් පසු පුණරූපණ වලදී එය බෝනර්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ගිය උඩ පන්දුවක් ලෙසින් පැහැදිළිව සටහන් වුවත්, ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කරමින් තෙවැනි විනිසුරු වෙත ඉල්ලීමක් නොකිරීම හේතුවෙන් එම වටිනා කඩුල්ල දවා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. 14 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී එම සිදුවීම වන විට බෝනර් ලකුණු 07 ක් ලබා සිටියේය.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 476 ක් රැස් කරගත්තේ තරගයේ වාසිය මුළු මනින්ම අත්පත් කර ගනිමිනි. කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට තවත් කඩුලු 9 කදී ලකුණු 341 ක ඉලක්කයක් ලබාගත යුතුව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ සිව්වැනි ඉනිමේදී ලකුණු 375 ට වඩා හඹා යමින් ජය ගෙන ඇත්තේ අවස්ථා 2 කදී පමණි. 2003 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇන්ටිගුවාහි හඹා ගිය ලකුණු 418 ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ හඹා ගොස් ජය ගෙන තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වේ.

2001 වසරේදී මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් තිලාන් සමරවීර රැස් කරන ලද ශතකයෙන් පසු ගෙවී ගිය වසර 20 ක කාලය ඇතුළත මංගල ටෙස්ට් තරගයකදී ශතකයක් ලද පළමු පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත්විය. මෙරට ටෙස්ට් ඉතිහාසය සංසන්දනය කිරීමේදී ඔහුට පෙර බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කලුවිතාරණ සහ තිලාන් සමරවීර මංගල තරගයකදී ශතකයක් ලද පිතිකරුවන් බවටපත්ව සිටියද විදේශයකදී එවැනි හපන්කමක් කළ පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන් පැතුම් නිස්සංකගේ නම වාර්තා පොත් අතරට එක් වනු ඇත.

දකුණතින් පන්දුවට පහර දෙන තවමත් 22 වැනි වියේ පසුවන පැතුම් කලුතර විද්‍යාලයෙන් සහ කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී සිටියි. මෙම දස්කම ලෝකයට සංසන්දනය කිරීමේදී පැතුම්ට එහි හිමිවන්නේ 110 වැනි ස්ථානය වේ.

ඔහුට අනගි සහායක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ල හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වයක් දැක්වූ අතර ඔහු ශතකය පෙනි පෙනී දැවී ගියේය. මීට පෙර අවස්ථා 4 කදී ලකුණු 80 කට වඩා වැඩියෙන් ලබා ගැනීමට සමත්ව සිටින වමත් පිතිකරුවාට ශතකයක් ලබා ගැනීමට හොඳින්ම අවකාශ තිබුණද කෙමාර් රෝච්ගේ කටර් පන්දුව තර්ඩ් මෑන් දෙසට තල්ලු කර යෑමට කරන ලද උත්සාහයේදී එය පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල සොයා ගියේය. එහෙයින් ඔහුට පස්වැනි වතාවටත් ශතකයක් ලබා ගැනීමට තිබු අවස්ථාව අහිමි වූවේය. හතරේ පහර 8 ක් ද සමඟ පන්දු 163 කින් සමන්විත වුණු දික්වැල්ලගේ ලකුණු 96 ක ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

කඩුලු 4 ට ලකුණු 255 ක් ව තිබියදී සිව්වැනි දිනය ඇරඹූ ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙනම පිතිකරුවා බවට පත් වුණු පැතුම්, කෝන්වෙල්ගේ පන්දුවකට එල්ල කරන ලද පහර වැරදී ඩීප් ස්කෙවයාර්ලෙග් කළාපයේ පන්දු රැකි කෙමාර් රෝච් රැක ගැනීම නිසා ඉනිම අහවර කර ගත්තේය. පන්දු 252 කින් සමන්විත වුණු පැතුම් සිය ඉනිම සඳහා හතරේ පහර 6 ක් පමණක් එල්ල කර තිබුණි. ඔහුට පෙර දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත් වුණු ධනංජය ද සිල්වා දැවී යෑමට ප්‍රථම සිය ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත්විය. කෙමාර් රෝච්ගේම ගොදුරක් ලෙසින් දික්වැල්ල දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 460 ක් ලෙසින් සටහන්ව තිබුණ.

කෙසේ වෙතත් ඉනි පසු පැමිණි පිතිකරුවන් තිදෙනාම ලකුණු 16 ක් ඇතුළත දවා ගැනීමට පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී  කෙමාර් රෝච් සහ රකීම් කෝන්වෝල් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී කයිල් මේයර්ස් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත්වූහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest