slc
Home   |    News
මාර්තු 31, 2021
පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්

sinhala editor

පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියහ. පන්දු යවන්නන්ට කිසියම් සහායක් ලබා දුන් දෙවැනි දිනය ඉතාමත් මන්දගාමී දිනයක් බවට පත්වූ අතර දිනය තුළ යවන ලද පන්දුවාර 86 දී දෙපිළේම පිතිකරුවෝ රැස් කිරීමට සමත්වූයේ ලකුණු 203 ක් පමණි.

සමස්ථ දිනය තුළදී කඩුලු 6 ක් දැවී යද්දී පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය ලෙසින් 2.36 ක් සටහන් වේ.කෙසේ වෙතත් ලකුණු 77 කදී පළමු පිතිකරුවන් තිදෙනා දැවී ගිය ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නියැළි දිනේෂ් චන්දිමාල් පන්දු 80 කදී ලකුණු 34 ක්ද ධනංජය ද සිල්වා පන්දු 95 කට මුහුණ දෙමින් ලකුණු 23 ක්ද ලබා තරගයේ තෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටියහ. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මොවුන් දෙදෙනා අතර වාර්තා වුණු නොබිඳුණු කඩුලු සම්බන්ධතාවය ලකුණු 59 කි.

ඉනිම ආරම්භයේදී ඉතාමත් සංසුන්ව පන්දුවට පහර දුන් ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකත්වයට පත් වූ පළමු පිතිකරුවා විය. වෙනදාට වඩා තරමක් වේගයෙන් පන්දුවට පහර දුන් තිරිමාන්න තේ පානයට පෙර සිය අර්ධ ශතකය සපුරා ගගත්තේය. මෙය ඔහු අඛණ්ඩව ඉනිම 3 කදී රැස් කරන ලද තෙවැනි අර්ධ ශතකය මෙන්ම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 9 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිට පිතිකරණයට අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීම සඳහා දිමුත් කරුණාරත්න දැඩි උත්සාහයක නිරත වූ නමුත් අල්සාරි ජෝසප් හමුවේ ඔහු පරාජයට පත්විය. එල්ල කරන ලද පහර ස්ලිප් සහ ගලී ස්ථාන අතරින් ගලා ගියත් නමුත් දකුණතට පැන තනි අතට එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට න්කෘමා බෝනර් සමත්වූවේය. ගලී ස්ථානයේ සිට ගුවනට මුසු වෙමින් රැක ගත් එම උඩ පන්දුව දිනය තුළ පමණක් නොව සමස්ථ තරගයේදී මෙතෙක් වාර්තා වුණු දක්ෂතම උඩ පන්දු රැකීම බවට පත්විය.

ඕෂද ප්‍රනාන්දු ද ලකුණු අතරට පිවිසීමට දැඩි උත්සාහයක් නිරත වූ නමුත්, කයිල් මේයර්ස්ගේ පන්දු යැවීම ඔහුගේ හරහට හිටියේය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඕෂද දැවී යන විට පන්දු 71 කදී ලකුණු 18 ක් ලබා සිටියේය. රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් තිරිමාන්නද තම ඉනිම ලකුණු 55 කදී නවතා ගත්තේය. පන්දු 106 කින් සමන්විත වුණු තිරිමාන්නගේ ඉනිම සඳහා හතරේ පහර 6 ක් එල්ල කර තිබිණ.

දෙවැනි දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් අවසන් කඩුලු 3 දවා ගනිමින් ඉනිම නිමා කිරීම සඳහා උදෑසන සැසියම ඉවසා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර එහිදී තවත් ලකුණු 67 කින් පළමු ඉනිම ඉහළ දමා ගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත්වූහ. දුෂ්මන්ත චමීර විසින් කොදෙව් කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙසින් නායක ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ කඩුල්ල දවා ගන්නා විට බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ලකුණු 354 ක් ලෙසින් සටහන්ව තිබිණ.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැත්වයිට් අද දිනයේදී සිය 9 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගනිමින් තම ඉනිම ලකුණු 126 ක් දක්වා ඉහළ දමා ගත්තේය. ඔහුට අමතරව රකීම් කෝන්වෝල් ද අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගත්තේය.

පන්දුවාර 6 ක් පමණක් පරණ වී තිබූ දෙවැනි නව පන්දුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් කළින්ම කොදෙව් පළමු ඉනිම නවතා දමනු ඇතැයි අපේක්ෂිත වුවත්, දිවා ආහාරය වන තෙක්ම තරගය රැගෙන ගියේය. පළමු ටෙස්ට් තරගයේ පරිදිම වැඩිම හානියක් සිදුකරන ලද්දේ රකීම් කෝන්වෝල් විසිනි.

නායකයාට මනා සහයෝගයක් ලබා දුන් කොදෙව් දැවැන්තයා සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ විශ්ව ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 92 කදී ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කර ගනිමිනි. මෙය කෝන්වෝල් විසින් පිට පිට ඉනිම දෙකකදී රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකාවේ අවාසනාවටත් කොදෙව් පිලේ වාසනාවටත් හිටි කෝන්වෝල් – බ්‍රැත්වයිට්ගේ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය එම ඉනිමේ වාර්තා වුණු හොඳම සම්බන්ධතාවය (103) බවට පත්වූවා පමණක් නොව ශ්‍රී ලංකාවට දැඩි හානියක් සිදුකරන ලද සම්බන්ධතාවයක් ලෙසින් සටහන් විය. මෙම සම්බන්ධතාවයේදී වැඩිම හානියක් සිදුකළ කෝන්වෝල් එම කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු 103 න් 73 කම හිමිකරුවා බවට පත්වූවේය.

සුරංග ලක්මාල්ගේ සිව්වැනි කඩුල්ල ලෙසින් කෝන්වෙල් දැවී යද්දී පිටියට පිවිසි කෙමාර් රෝච් ද 9 වැනි කඩුල්ල වෙනුවෙන් නායකයා සමඟ එක්ව ලකුණු 26 කින් ඉනිම පෝෂණය කළේය. කෙමාර් රෝච්ගේ කඩුල්ල දවා ගත් දුෂ්මන්ත චමීර ඊළඟ පන්දුවාරයේදී යළිත් බ්‍රැත්වයිට්ව දවා ගනිමින් කොදෙව් පළමු ඉනිමේ ලකුණු දඩයම නිමා කර දැමුවේය. පිට ඉන්නට මඳක් පිටතින් පිතව කඩුල්ල තුළට ආ පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල වැදී යෑම නිසා පිටියෙන් ඉවත්විය. ඒ සැණකින්ම දිවා භෝජනය සඳහා තරගය නතර කර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් ලකුණු 94 කට කඩුලු 4 ක් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර ලකුණු 69 ක් ඇතුළත කඩුලු 3 ක් දවා පන්දු යැවීමෙන් කැපී පෙනිණ.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest