slc
logo
Home   |    News
මාර්තු 8, 2021
මිනෝද් භානුක ඉනිමක වැඩිම ලකුණු ලාභියා වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-2 ක්‍රිකට් තරගාවලි යටතේ ඉරිදා දින (7 වැනිදා) බදුරළිය, එස්. එස්. සී. කෝල්ට්ස්, සී. සී. සී., කුරුණෑගල තරුණ, යුද හමුදාව, රාගම සහ එන්. සී. සී. ක්‍රීඩා සමාජ ජයවාර්තා කළහ.

එම තරග අතරින් සරවනමුත්තු පිටියේ පැවැති මීගමුවට එරෙහි තරගයේදී ලකුණු 156 ක ඉලක්කයක් හඹා ගිය සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක ලකුණු 85 ක් රැස් කළේය. එය මෙතෙක් තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබේ. අශාන් ප්‍රියන්ජන්ට එක් වුණු මිනෝද් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවයක් එක් කළ අතර එහිදී අශාන් ප්‍රියන්ජන් ලකුණු 50 ක් ලබා ගත්තේය. මෙම සම්බන්ධතාවය හේතුවෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සී. සී. සී. පිල සමත්විය.

සී.සී.සී ක්‍රීඩාංගණයේදී එන්.සී.සී කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු හයකට ලකුණු 169ක් රැස් කරද්දී අනපේක්ෂිත අයුරින් ලන්කන් ඉනිම ලකුණු 49කට සීමාවිණි. යුද හමුදාව සහ පානදුර අතර තරගයේ දී පානදුර ලකුණු 75කට දැවී යද්දී යුද හමුදාව තරගය පහසුවෙන්ම ජයගත්තේ තවත් පන්දුවාර 8.4ක්ම ඉතිරිව තිබියදීය.

උදෑසන පැවැති බදුරලිය සහ ගාල්ල අතර තරගයේදදී බදුරලිය කණ්ඩායමේ තිලකරත්න සම්පත්ද ටැමිල් – රාගම තරගයේදී රාගම නායක ඉෂාන් ජයරත්නද තුන් ඉරියව්වේම පෑ දස්කම් මත එම කණ්ඩායම් වලට ජයග්‍රහණ අත්විණි. බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් නිමන්ද මධුශංක ලකුණු 19 කට කඩුලු 5 ක් දවා ගනිමින් ජයග්‍රහණය සඳහා වැඩි වැඩ කොටසක් ඉටු කළේය. මෙම දක්ෂතාවය මෙවර තරගාවලියේ පනක්දු යවන්නකු විසින් දවාගනු ලැබූ දෙවැනි කඩුලු 5 වශයෙන් සටහන් විය.

සෙනසුරාදා එස්.එස්.සී කණ්ඩායම අනපේක්ෂිත පරාජයකට ළක් වුවත් ඔවුන් මෙදින ප්‍රබල මුවර්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට සමත්විය. එස්.එස්.සී පිල වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 61 ක් සහ කිෂාන් සංජුල ලකුණු 50 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ පෙරමුණ ගත්හ.

ගාල්ල – බදුරලිය

බදුරලියට කඩුලු පහක ජය

‘ඒ’ කොටස යටතේ සරවනමුත්තු පිටියේ පැවැති මේ තරගයේදී බදුරලිය කණ්ඩායමේ නිමන්ද මධුශංඛ ලකුණු  19කට කඩුලු පහක දවාලීමත් තිලකරත්න සම්පත් ලකුණු 55ක් රැස්කිරීමත් මත ඔවුනට කඩුලු පහක පහසු ජයග්‍රහණයක් අත්විය. තිලකරත්න සම්පත් ලකුණු 55 රැස්කළේ පන්දු 30කදී හතරේ හතක් හයේ දෙකක් සමගිනි.

බදුරලිය දෙවන කඩුලල්ට තිලකරත්න සම්පත් සහ යශෝධ ලංකා පන්දු වාර හතකදී ලකුණු 64ක් රැස්කරමින් තම කණ්ඩායමට පහසු ජයග්‍රහණයකට අඩිතාලම දැමූහ.

ගාල්ල පන්දු වාර 20දී කඩුලු 9ට 114යි – (එරංග රත්නායක 30, ඉමේෂ් උදයංග 23, නිමේෂ් පෙරේරා 12, නිමන්ද මධුශංඛ 19/5යි, තිලකරත්න සම්පත් 9/1යි)

බදුරලිය පන්දුවාර 15.5කදී කඩුලු 5ට 115යි – (තිලකරත්න සම්පත් 55, යශෝධ ලංකා 29, ගමිඳු කණිෂ්ක නොදැවී 10යි, නිමේෂ් පෙරේරා 26/2යි)

එස්.එස්.සී – මුවර්ස්

එස්.එස්.සී ට කඩුලු 7ක ජය

කටුනායක පැවැති “සී” කොටසට අයත් මේ තරගයේදී මුවර්ස් ලබාගත් ලකුණු 156 හඹායාමේදී එස්.එස්.සී කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු (නොදැවී 61) සහ ක්‍රිෂාන් සංජුල (50) දෙවන කඩුල්ලට පන්දුවාර 11.4 කදී ලකුණු 93ක් රැස් කිරීමෙන් ඔවුනට පහසුවෙන් ජයග්‍රහණය ආසන්නයට ළගාවීමට අවස්ථාව උදාවිණි. නුවනිඳු පන්දු 46කදී හතරේ තුනක් හයේ දෙකක් සමග නොදැවී 61ක්ද ක්‍රිෂාන් සංජුල පන්දු 43කදී හතරේ තුනක් හයේ පහරක් සමග අර්ධ ශතකයක් (50) රැස් කළහ.

මුවර්ස් පන්දු වාර 20කදී කඩුලු 6කට 156යි – (පබසර වඩුගේ 43, මහේල උඩවත්ත 38, මොහොමඩ් ෂාමාස් 29, කළණ පෙරේරා 18/2යි)

එස්.එස්.සී පන්දුවාර 19.3කදී කඩුලු 3කට 159යි – (නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 61,‍ ක්‍රිෂාන් සංජුල 50, ෂම්මු අෂාන් නොදැවී 16, අදීෂ තිලංචන 21/2යි)

කෝල්ට්ස් – ගුවන් හමුදාව

කෝල්ට්ස් පිලට ලකුණු 50 ක ජයක්

සි.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති “බී” කොටසට අයත් මේ තරගයේදී කෝල්ට්ද් පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු අතරට පිවිසීම මත ඔවුනට පන්දු වාර 20දී ලකුණු 177ක් වැනි වැඩි සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි. ගුවන් හමුදා ඉනිම ලකුණු 127ට සීමා වූයේ සංගීත් කුරේගේ සහ රොෂාන් සංජයගේ දක්ෂ පන්දු යැවීම මතය.

කොල්ට්ස් පන්දු වාර 20කදී කඩුලු 8කට 177යි – (ජෙහාන් ඩැනියෙල් නොදැවී 44, සංගීත් කුරේ 37, ධනංජය ලක්ෂාන් 31යි, හේෂාන් ධනුෂ්ක 25, ප්‍රියමල් පෙරේරා 23, ලසද රුක්මාල් 38/3, නිමේෂ් මෙන්ඩිස් 50/2, අසංග සංගප්පුලි 23/2)

ගුවන් හමුදා පන්දු වාර 18.4කදී 127යි – (චාමර ප්‍රනාන්දු 33, උදයවංශ පරාක්‍රම 28, ලසිද රුක්මාල් 24, සංගීත් කුරේ 19/3, රොහාන් සංජය 26/2)

ටැමිල් – රාගම

රාගමට කඩුලු 2ක ජයක්

එන්.සී.සී පිටියේදී පැවැති මේ තරගය තියුණු මුහුණුවරක් ඉසිලු අතර රාගම නායක ඉෂාන් ජයරත්න මෙහිදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය. අවසාන පන්දුව දක්වා ඇදී ගිය මේ තරගයෙන් රාගම ජය ලැබුවේ කඩුලු 2කිනි. කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 ඉක්මවිය නොහැකිවිය.

ටැමිල් පන්දු වාර 19.1කදි සියලු ක්‍රීඩකයන් දැවී 118යි – (යොහාන් මෙන්ඩිස් 25, රවිදු ප්‍රනාන්දු 25, සිතාර ගිම්හාන් 22, ඉෂාර ජයරත්න 24/3, ජානක සම්පත් 11/2)

රාගම පන්දුවාර 20කදී කඩුලු 8කට 119යි – (ඉෂාන් ජයරත්න 22, ජනිත් ලියනගේ 19, බිනුර ප්‍රනාන්දු 17, ජානක සම්පත් 14, ශිරාන් ප්‍රනාන්දු 20/3, ප්‍රමෝද් මදුශාන් 27/3යි)

සී.සී.සී – නිගම්බු

සි.සී.සී. කඩුලු 7කින් ජයගනී.

පී.සරවනමුත්තු පිටියේ පැවැති “ඒ” කොටසට අයත් මේ තරගයේදී නිගම්බු කණ්ඩායම කඩුලු 9කට ලබාගත් ලකුණු 155 හඹායද්දී සී.සී.සී කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 11කට දැවීගියහ. මේ අවස්ථාවේ මිනෝද් භානුක සහ අෂාන් ප්‍රියංජන් පන්දු වාර 13.2කදී තෙවන කඩුල්ලට ලකුණු 110ක් රැස්කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුල්විණි.

මිනෝද් භානුක පන්දු 55කදී හයේ පහරක් හතරේ හතක් සමග නොදැවී ලකුණු 85ක්ද අෂාන් ප්‍රියංජන් පන්දු 37කදී හතරේ හයක් සමග ලකුණු 50ක්ද රැස්කළහ.

නිගම්බු පන්දු වාර 20කදී කඩුලු 9ට 155යි – (ඇන්ජලෝ ජයසිංහ 43, ළහිරු මිලන්ත 39, රොස්කො තටිල් 34, මාලින්ද පුෂ්පකුමාර 22/3, අෂාන් ප්‍රියංජන් 29/1යි)

සී.සී.සී පන්දු වාර 19.3කදී කඩුලු 3කට 161යි – (මිනෝද් භානුක නොදැවී 85, අෂාන් ප්‍රියංජන් 50, ළහිරු මධුශංඛ නොදැවී 13, දිල්ෂාන් මුනවීර 20/1යි , රොෂේන් ප්‍රනාන්දු 21/1)

එන්.සී.සී – ලන්කන්

එන්.සී.සී ට ලකුණු 120ක ජය

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති “බී” කොටසට අයත් මෙම තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ චාමික ගුණසේකර (5/3) චාමික කරුණාරත්න (9/3) සහ අෂේන් ඩැනියෙල් (5/2) දක්ෂ පන්දු හමුවේ ලන්කන් ඉනිම ලකුණු 49කට සීමාවිණි.

මුලින් පන්දුවට පහරදුන් එන්.සී.සී ලබාගත් ලකුණු 169ට වැඩිපුරම දායකත්වය ලබාදුන්නේ දිනෙත් ජයකොඩි (ලකුණු 57යි හතරේ පහයි හයේ 2යි) සහ ඇන්ජලෝ පෙරේරාය. (නොදැවී 57යි හතරේ තුනයි හයේ එකයි)

එන්.සි.සී.පන්දුවාර 20කදී කඩුලු හයකට 169යි – (දිනෙත් ජයකොඩි 57, ඇන්ජලෝ පෙරේරා නොදැවී 57, හසිත බෝයගොඩ 17, සාලිය සමන් 32/3)

ලන්කන් පන්දු වාර 13.1කදී ලකුණු 49යි – (විමුක්ති පෙරේරා 10, කේෂාන් විජේරත්න 09, චාමික ගුණසේකර 5/3, චාමික කරුණාරත්න 9/3, අෂේන් ඩැනියෙල් 5/2)

කුරුණෑගල යූත් – කලුතර නාගරික

කුරුණෑගල යූත්ට ලකුණු 55ක ජය

කලුතර නාගරික කණ්ඩායම ලකුණු 162ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී කුරුණෑගල කණ්ඩායමේ ළහිරු ජයරත්න, සමීර සඳමාල් සහ රන්දීර රණසිංහ කඩුලු දෙක බැගින් දවාලීම මත කලුතර ඉනිම ලකුණු 106කට සීමාවිණි.

කුරුණෑගල කණ්ඩායමේ මුදිත ප්‍රේමදාස නොදැවී ලකුණු 39ක්ද ධනුෂ්ක ධර්මසිරි ලකුණු 34ක්ද රැස්කර වැඩිම දායකත්වය කණ්ඩායමට ලබාදුන්හ.

කුරුණෑගල පන්දු වාර 20කදී කඩුලු 5කට 161යි – (මුදිත ප්‍රේමදාස නොදැවී 39, ධනුෂ්ක ධර්මසිරි 34, ගයන්ත මනීෂාන් 30, සමීර සඳමාල් 27, ඉන්සක සිරිවර්ධන 28/2)

කලුතර නගර කණ්ඩායම පන්දු වාර 20කදී කඩුලු 9කට 106යි – (පන්සිලු දේශාන් 23, නිලංක සඳකැන් 18, මිතුන් ජයවික්‍රම 16, ළහිරු ජයරත්න 8/2යි, සමීර සඳමාල් 15/2, රන්දීර රණසිංහ 29/2යි)

යුද හමුදාව – පානදුර

යුද හමුදාවට කඩුලු 7ක පහසු ජයක්

එන්.සී.සී පිටියේ පැවැති “ඩී” කොටසට අයත් මේ තරගයේදී යුද හමුදාවේ යශෝධ මෙන්ඩිස් (14/3) මහීෂ් තීක්ෂණ (11/2) සහ සීක්කුගේ ප්‍රසන්නගේ විශිෂ්ට පන්දු යැවීම මත පානදුර ඉනිම ලකුණු 75කට සීමාවිණි. යුද හමුදා නායක අසේල ගුණරත්න පන්දු 26කට මුහුණ දී හතරේ තුනක් සමග නොදැවී ලකුණු 31ක් ලබා ප්‍රබල පිතිහරඹයක නියැළිණි.

පානදුර පන්දු වාර 17.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 75යි- (කේෂාන් ධනුෂ්ක 25, තරිඳු මෙන්ඩිස් 14, යශෝධ මෙන්ඩිස් 14/3යි, මහීෂ් තීක්ෂණ 11/2යි, සීක්කුගේ ප්‍රසන්න 18/2යි)

යුද හමුදාව පන්දු වාර 11.2කදී කඩුලු 3ට 76යි – (අසේල ගුණරත්න නොදැවී 31යි, දුෂාන් විමුක්ති 22, චරිත් ජයම්පති 13/1, කේෂාන් ධනුෂ්ක 14/1යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee