slc
logo
Home   |    News
මාර්තු 6, 2021
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එකට එක කරති

sinhala editor

පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමතැන් ගත්තේය. එබැවින් දෙරට අතර ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය වඩාත් උණුසුම් මුහුණුවරකින් හෙවත් අවසන් මහ තරගයක ස්වභාවයකින් පැවැත්වෙනු ඇත.

මන්දගාමී මතුපිටක් වුණු කූලිජ් තණතීරුවේදී ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය හමුවේ පන්දුවාර 18 කුත් පන්දු 4 කදී රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 117 ක් පමණි. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පෙරගමන්කරුවන් වුණු වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්,අකිල ධනංජය සහ ධනුෂ්ක ගුණතිලක සත්කාරකයින්ගේ දැවී ගිය කඩුලු 10 න් 8 කට වගකියූහ.

සංචාරක පිලේ දඟ පන්දු ඉතා හොඳින් පන්දු යැවූ නමුත් කොදෙව් කණ්ඩායම ලබා ගත් ලකුණු 117 න් ලකුණු 68 ක්ම වේග පන්දු යවන්නන් හමුවේ රැස් කර ගැනීමට සමත්වීම කැපී පෙණින. එම ලකුණු 68 න් ලකුණු 41 ක්ම තිසර පෙරේරා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 2 දී උදුරා ගැනීම විශේෂත්වයක් විය.

පෙර තරගයේදී කිරන් පොලාර්ඩ් හමුවේ දැඩි ප්‍රහාරයක් ලක් වුණු අකිල ධනංජය අද දිනයේදී කොදෙව් පිතිකරුවන් දැඩි පීඩනයකට ලක් කරමින් පන්දු යැවීම කැපී පෙනුණි. තම පන්දුවාර 4 ලකුණු 13 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් නිමා කිරීමට සමත් වූ අකිල එවින් ලුවිස්ගේ කඩුල්ලද දවා ගත්තේය.

වසර 2 කට පසු ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණව සිටින ක්‍රිස් ගේල් හයේ පහරක් සමඟින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළද වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ අෂේන් බණ්ඩාර රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන් ගේල්ගේ ඉනිම ලකුණු 16 කදී නිමාවට පත්විය. ඊට ලකුණු 3 කට පස ලෙන්ඩ්ල් සිමන්ස්ව දවා ගැනීමට හසරංග සමත්වීමත් සමඟ පීඩනය සත්කාරක පිල වෙත දෝලනය විය.

පන්දු යැවීමේ වෙනසක් සිදුකරමින් හදිසියේම 11 වැනි පන්දුවාරය යැවූ දුෂ්මන්ත චමීර එම පන්දුවාරය ඇතුළතදී ඩ්වේන් බ්‍රාවෝ සහ නිකොලොස් පූරාන්ගේ කඩුලු දවා ගැනීමට සමත්වීම, පහසු ජයග්‍රහණයක් ලැබීමේ හැරවුම් ලක්ෂය බවට පත්විය. එහෙත් සටන අත් නොහළ නායක කිරන් පොලාරඩ් සහ ඔබෙඩ් මැකෝයි කණ්ඩායම මුහුණ දී සිටි අසීරුතාවයෙන් ගොඩ ගැනීමට වෙහෙසක් ගත් නමුත්, තෙවැනි දඟ පන්දු යවන්නනා ලෙසින් කණ්ඩායමට පැමිණ සිටි ලක්ෂාන් සඳකැන් ඊට හරස් විය.

කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ඔබෙඩ් මැකේගේ කඩුල්ල සඳකැන් දවා ගැනීමට සමත්වීමත් සමඟ ඔහුගේ පන්දු යැවීම ලකුණු 10 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. තම පන්දුවාර 4 දී ලකුණු 17 ක් පමණක් ලබා දී ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනකු සහ පන්දුවට පහර දීමේදී පන්දු 11 දී ලකුණු 19 ක් ලබා ගත් වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

නිවැරදි පන්දුව තෝරා පහර එල්ල කිරීම,  ස්ථාන ගත කිරීම සහ කඩුලු අතර දිව යෑම ආදී පිතිකරණයේ සාර්ථකත්වය සඳහා සෘජුවම බලපාන සියල්ල විශිෂ්ඨ මට්ටමක පැවැතීම නිසා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක් රැස් කිරීමට ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක සමත්විය. ශ්‍රී ලංකා ජයග්‍රහණයට එක් වුණු සාර්ථක පදනම බවට පත් වුණු එම සම්බන්ධතාවය සඳහා පන්දු 62 ක් පමණක් වැය විණ.

අවසන් වරට පැවැති එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු ගුණතිලක, එම රිද්මය එලෙසින්ම පවත්වා ගනිමින් විස්සයි-20 තරග දිවියේ තෙවැනි ර්ධ ශතකය වාර්තා කර ගත්තේය. පන්දු 42 කින් සමන්විත වුණු ධනුෂ්කගේ ලකුණු 56 ක ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් වී තිබිණ.

නිරෝෂන් දික්වැල්ල වෙනුවට ධනුෂ්ක සමගින් ඉනිම ඇරැඹි පැතුම් නිස්සංක පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 56 ක් රැස් කිරීමට දායකත්වය ලබා දුන්නේය. මෙතෙක් තරගාවලියේ වැඩිම ආකර්ෂණයක් දිනා සිටින ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්ව සිටින පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 23 කදී ලකුණු 37 ක් ලබා ගත්තේය.

පන්දු 4 ක් ඇතුළත මොවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ඩ්වේන් බ්‍රාවෝ සමත්වීම, ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් වන්නට විය. මන්ද යත් පළමු පන්දුවාර 10 ඇතුළත ඔවුන් දෙදෙනා ලකුණු 94 ක් රැස් කිරීමට සමත් වුවත් ඊළඟ පන්දුවාර 10 ඇතුළතදී ශ්‍රී ලංකා පිලට රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 66 ක් පමණක් වීම හේතුවෙනි. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි භාගයේදී වනිඳු හසරංග විසින් එල්ල කරන ලද හතරේ පහර 3 ත්, අෂේන් බණ්ඩාර විසින් එල්ල කරන ලද හයේ පහරත් නොවන්නට එම පන්දුවාර 10 ඇතුළතදී එකම හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්වූහ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි-20 තරගය ලබන 08 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් පිටියේදීම පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee