slc
Home   |    News
මාර්තු 24, 2021
ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී සාර්ථක වෙති

sinhala editor

ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සාර්ථක සම්බන්ධතාවයක් එක් කළ ළහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දුගේ වටිනා සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 153 ක් පෙරමුණට පැමිණ සිටින්නේ තවත් කඩුලු 6 ක් අත ඉතිරි කරගෙනය. මොවුන් දෙදෙනා විසින් රැස් කරන ලද මෙම සම්බන්ධතාවය කොදෙව් කණ්ඩායමකට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් ඔවුන්ගේ නිජබිමේදී වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

පෙර දිනයේදී කඩුලු 8 කට ලකුණු 268 ක් ලබා සිටි කොදෙව් පළමු ඉනිමේ ඉතිරි කඩුලු 2 ලකුණු 03 ක් ඇතුළත දවා ගනිමින් තෙවැනි දිනයේදී විශිෂ්ඨ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.  එම කඩුලු 2 ම විශ්ව ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් සටහන් වද්දී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 102 ක අභියෝගයක් හිමිව තිබිණ.

පළමු ඉනිමේදී අසාර්ථක වූ නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීද ලකුණු අතරට ඒමට අපොහොසත් වූවේය. කෙමාර් රෝච්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රැකි ජෝන් කැම්බල් අතට උඩ පන්දුවක් දී දිමුත් දැවී යන විට ලකුණු 03 ක් පමණක් රැස් කරගෙන සිටියේය. දිමුත් දැවී යන විටත් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා පිලට තවත් ලකුණු 94 ක් ලබා ගත යුතුව තිබිණ.

අනතුරුව පිටියට එක් වුණු ඕෂද ප්‍රනාන්දු සහ ළහිරු තිරිමාන්න එක්ව ඉතාමත් සැලසුම් සහගතව පන්දුවට පහර දීමට පෙළැඹීම නිසා පළමු දින දෙක ඇතුළත ගිලිහී ගොස් තිබූ තරගයේ ගෞරවය යළිත් ශ්‍රී ලංකා පිල වෙත ලබාගැනීමට අවකාශ විවර විය.

මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම යම් කිසි ස්ථාවරත්වයක් ගොඩ නඟා ගෙන සිටීනම් එහි වැඩි ගෞරවයක් තිරිමාන්න සහ ඕෂද දෙපළට හිමිවිය යුතුය. අතිශය ඉවසිලිවන්ත වූ පිතිකරණ සංදර්ශනයකදී සියළු අවදානම් මඟ හරිමින් කොදෙව් පන්දු යවන්නන්ට මුහුණ දුන් වමත් – දකුණත් පිතිකරු යුගලය තේ පානය වන විට දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දුවාර 45 කදී ලකුණු 140 ක් ලෙසින් ඉහළ දැමූහ.

ලකුණු 91 ක් ලබා ගත් ඕෂද ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න

කෙසේ වෙතත් තේ පානයත් දිනය අවසානයත් අතර වූ සැසියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අභිබවා ඉදිරියට පැමිණීමට කොදෙව් පන්දු යවන්නන් ඒ අතරතුරදී  ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 4 න් 3 ක්ම දවා ගැනීමට සමත්විය. එහි පළමු වෙඩිමුරය බවට පත් වූයේ කයිල් මේයර්ස් විසින් ඕෂද ප්‍රනාන්දුව දවා ගැනීමය. සිය දෙවැනි ටෙස්ට් ශතකයට ලකුණු 9 ක් තිබියදී එතෙක් වෙලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද කඩුලු රැකි ජොෂුවා ද සිල්වාට උඩ පන්දුවක් දී දැවී ගියේ මුහුණ දුන් 149 වැනි පන්දුවේදීය. වේග පන්දු යවන්නන්ට මෙන්ම දඟ පන්දු යවන්නන්ටද කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දුන් ඕෂදගේ ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් වාර්තා වුණු ඉනිම හතරේ පහර 11 ක් වර්ණවත් කර ගනිමිනි.

7 වැනි පන්දු යවන්නා ලෙසින් කොදෙව් නායකයා යොදා ගත්කයිල් මේයර්ස් මෙතෙක් ශ්‍රී ලංකා ඉනිමට වැඩිම හානියක් සිදුකරන ලද පන්දු යවන්නා බවට පත්විය. ඔහු ඕෂධගේ කඩුල්ලට අමතරව දිනේෂ් චන්දිමාල්වද ලකුණු 4 කට දවා ගත්තේය.

ළහිරු තිරිමාන්නද කෙමර් රෝච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්‍ලේ වැදීම නිසා ලකුණු 76 කදී පිටියෙන් ඉවත් විය. ඉනිමේ නැංගුරම ලෙසින් හැඳන්විය හැකි පන්දු 201 කින් සමන්විත වුණු තිරිමාන්නගේ මෙම සුවිශේෂී ඉනිමට හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් ව තිබිණ. තිරිමාන්නගේ ටෙස්ට් තරග දිවියේ පිට පිට ඉනිම දෙකකදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු මෙම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය.

ඉදිරි පෙළ පිතිකරුවන් සියල්ල ලකුණු 189 ක් ඇතුළත නරඹන්නන් බවට පත් වද්දී තිරිමාන්න – ප්‍රනාන්දු දෙදෙනා සකස් කර දුන් සාර්ථක පිතිකරණ වේදිකාව තමන්ට රිසි පරිදි සකසා ගත් ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිනය අවසන් වන විට 255 ක් දක්වා ඉහළ දමන ලද්දේ සිව්වැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගනිමිනි.

මොවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය පන්දු 135 කදී ලකුණු 66 ක් විය. තෙවැනි දිනට තරගය නිමා කරන විට ධනංජය ද සිල්වා පන්දු 74 කදී ලකුණු 46 ක්ද පැතුම් නිස්සංක පන්දු 74 කදී ලකුණු 21 ක්ද ලබා සිටියහ. මාර්තු 24 වැනිදා තරගයේ සිව්වැනි දිනයයි.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest