slc
Home   |    News
මාර්තු 11, 2021
ෂායි හෝප්ගේ ශතකයෙන් කොදෙව්වෝ පෙරමුණ ගනිති

sinhala editor

ෂායි හෝප් විසින් රැස් කරන ලද විශිෂ්ඨ ශතකයත්, එවින් ලුවිස් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද සාර්ථක සම්බන්ධතාවයත් හේතුකොට ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව අද (10 ද) ඇන්ටිගුවාහි ආරම්භ වුණු පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස කොදෙව්වෝ පෙරමුණ ගත්හ.

මෙම දක්ෂතා ප්‍රධාන කොට ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 3 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සනිටුහන් කර ගන්නා අවස්ථාවේදී කඩුලු 2 ක් පමණක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වී සිටියහ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවිය බවට පත් වුණු දඟ පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුතාවයකින් තොරව පිති හැසිරවූ ලුවිස්-හෝප් දෙපළ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනංවමින් ජයග්‍රහණය සඳහා වූ ස්ථාවර අඩිතාලම එක් කළහ. එම සම්බන්ධතාවයේදී ලුවිස් පන්දු 90 කදී ලකුණු 65 ක් ලබා ගත්තේය.

හඹා යෑමට නියමිත ලකුණු සංඛ්‍යාව පිළිබඳව හරි අවබෝධයක් ලබා ගත් ෂායි හෝප් වැඩි කලබලයකින් තොරව ලකුණු රැස් කිරීමට පෙළැඹීම මත තරගයේ ජයග්‍රහණය පමණක් නොව සිය එක්දින තරග දිවියේ දහවැනි ශතකයද වාර්තා කිරීමට සමත්වූවේය. මුහුණ දුන් 125 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා දුෂ්මන්ත චමීරගේ දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන විට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමඟින් පන්දු 133 කදී ලකුණු 110 ක් ලබා සිටියේය.

හැකි තරම් කරදර අවම කර ගනිමින් ලකුණු රැස් කිරීමට වග බලාගත් කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය ශ්‍රී ලංකා නායකයා දඟ පන්දු යවන්නන් කැඳවීමට පෙර වූ පන්දුවාර 9 ඇතුළත පළමු ලකුණු 50 රැස් කර ගැනීමට සමත්වූහ. ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව බවට පත්ව සිටින වනිඳු හසරංග හමුවේ දැඩි ආරක්ෂිත පිළවෙළක් කොදෙව් පිතිකරුවන් විසින් අනුගමනය කිරීම දක්නට ලැබුණු අතර එහිදී ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 26 ක් පමණක් ලබාගෙන තිබුණු එක් කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි.

 පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සාර්ථක සම්බන්ධතාවයක් සමඟ ආරම්භ වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම විටෙක ලකුණු 300 සීමාව ඉක්මවා ලබාගනු ඇති බවට පෙර නිමිත් පහළ විය. එහෙත් අද තරගයේදී එක්දින වරම් දිනාගත් අෂේන් බණ්ඩාර හැර මැද පෙළ පිතිකරුවන්ගේ දායකත්වය නොලැබී යෑම මත ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 49 කදී ලකුණු 232 කට සීමා විය.

ලකුණු 151 ක් වන විට කණ්ඩායමේ නම් දරා සිටින ‍ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් සියල්ල දැවී යද්දී බර කරට ගත් අෂේන් බණ්ඩාර පසු පෙළ පිතිකරුවන් සමඟ එක්වෙමින් සිය කණ්ඩායමේ ගෞරවය රැක දුන්හ. එහිදී කමිඳු මෙන්ඩිස්ගේ සිට එක්වූ බණ්ඩාර අවසන් පිතිකරුවන් 5 දෙනා සමඟ ලකුණු 81 එක් කළහ. මෙම තරගය සිය මංගල තරගය කරගත් බණ්ඩාර එම මංගලඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු තරගයේදී අර්ධ ශතකයක් රැස් කරන ලද 5 වැනි පිතිකරුවා බවට පත්වුණු බණ්ඩාර ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් දැවී යන විට පන්දු 60 කදී ලකුණු 50 ක් රැස් කරගෙන සිටියේය.

අගනා ආරම්භයක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න 19 වැනි පන්දුවාරයේ පන්දු 3 ක් ඇතුළත අර්ධ ශතක ඉක්මවා ගියහ. එහිදී ප්‍රථමයෙන්ම ධනුෂ්ක ගුණතිලක එම කඩඉම ඉක්මවා ගියේ සිය එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය සනිටුහන් කරගනිමිනි. මුහුණ දුන් 58 වැනි පන්දුවේදී දිමුත් කරුණාරත්න සිය එක්දින තරග දිවියේ 6 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

කෙසේ වෙතත් පන්දු යැවූ කිරන් පොලාර්ඩ් විසින් දිමුත් කරුණාරත්නගේ පෙරළා රැකි දක්ෂ උඩ පන්දුව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිහීම ආරම්භ විය. එයට තවත් රුකුලක් වූයේ ධනුෂ්ක ගුණතිලකගේ දැවී යෑම වෙනුවෙන් ලබා දුන් මතභේදාත්මක දැවී යෑමය. පන්දු රකින්නන්ට බාධා කළේ යැයි කියමින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එය දැවී යෑමක් ලෙස සටහන් කිරීම හේතුවෙන් ගුණතිලකග් ඉනිම ලකුණු 55 කදී අවසන් කර දැමීමට සිදුවිය. මේ කඩුලු 2 ම දැවී යෑමට ගත් වූයේ පන්දු 11 ක් යවන කාලය පමණි. මෙම තරගයේදී එක්දින වරම් දිනාගත් පැතුම් නිස්සංක මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ද දුවද්දී දැවී යෑම් වලට හසුව දැවී යෑම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් විය. ඔවුන් දෙදෙනාම ලකුණු 8 සහ 5 බැගින් ලබාගෙන සිටියහ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest