slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2021
‘තරගාවලිය දිනීම හැර අනෙක් කිසිවක් අනිවාර්යය නෑ’ – මහාචාර්ය අර්ජුන

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පත් කරන ලද ක්‍රිකට් කළමනාකරණ කමිටුවට කටයුතු කිරීම සඳහා එතරම් දීර්ඝ කාලයක් නොමැති වුවත් ලැබී තිබෙන කාලය ඇතුළතට ක්‍රීඩා අමාත්‍යවරයා තමන් ඇතුළු කණ්ඩායමට පැවැරූ වගකීම් සපුරාලීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

ක්‍රිකට් කළමනාකරණ කමිටුව හඳුන්වාදීම මෙන්ම එහිදී පැවැරී ඇති කාර්යය භාරයන් පිළිබඳව කරුණු පැහැදිළි කිරීම සඳහා අද (07 දා) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථාන පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා ඉහත අදහස් පළ කර සිටියේය. මෙහිදී කරුණු දක්වා සිටි නව කලමනාකරණ කමිටු සභාපතිවරයා තමන් මෙම ස්ථානයට පැමිණ ඇත්තේ කිසිවකුගේ වැරදී සෙවීමට හෝ කිසිවකුට හෝ විරුද්ධව කටයුතු කිරීමට නොවන බවත් සඳහන් කර සිටි අතර ධුරයේ කටයුතු කරනු ලබන කාලය ඇතුළතදී තමන් උපරිම විනිවිධ භාවයෙන් යුතුව කටයුතු කිරීමට පියවර ගනු ලබන බවඳ සඳහන් කර සිටියේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ වසර 10 කට වැඩි කාලයක් කළමනාකරණ තනතුරු හොබවා ඇති මහාචාර්ය අර්ජු න ද සිල්වා මහතා තහනම් උත්තේජන කටයුතු සම්බන්ධ ආයතනයේ මෙරට ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරන්නේය. ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පත්කරන ලද කලමනාකරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් පත්ව සිටින මහාචාර්යය වරයාගේ ප්‍රධාන වගකීම වන්නේ නිලවරණය පවත්වන තෙක් ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම වේ.

“මට හරියටම සති 6 ක කාලයක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ටී-20 මැච් එකක්. ටෙස්ට් මැච් එකක් නොවෙයි. ඒකෙනුත් සති 2 ක් අලුත් අවුරුද්දට යනවා. එහෙම බැලුවහම සාමාන්‍යයෙන් මාසයක් වගේ කාලයක් තමයි අපිට මෙහි කටයුතු කරන්න පැවැරිලා තියෙන්නේ” යි සිනහමුසු මුහුණින් යුතුව මාධ්‍ය හමුවට මුල පිරුවේය.

“මෙම තනතුර භාරගන්න එක හේතුවක් තමයි, මීට පෙර මම රජයේ අමාත්‍යාංශ 7 ක වැඩ කරලා ලබා ගත් අත්දැකීම්වලින් ක්‍රිකට් ආයතනයේ කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක මට හොඳ අවස්ථාවක් වුණා” යැයි සඳහන් කර සිටි මහාචාර්යය වරයා  ඒ සඳහා තමන්ට ඉතා හොඳ කණ්ඩායමක් ලැබී තිබෙන බවද සඳහන් කර සිටියේය.

මහාචාර්යවරයාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, ප්‍රවීණ ගණකාධිකාරීවරයකු වන සුජීව මුදලිගේ, නීතිඥවරයකු ලෙසින් කටයුතු කරනු ලබන උචිත වික්‍රමසිංහ සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළත් වෙති. මහාචාර්යවරයාගේ අදහස් දැක්වීමේදී එම කමිටුවට පත්ව සිටින එක් එක් සාමාජිකයාගේ තරාතිරම සහ වගකීම පිළිබඳවද මාධ්‍යවේදීන්ට හොඳ අවබෝධයක් ලබා දුන්නේය. ” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතා අපේ කණ්ඩායමේ කොටසක් හැටියට කටයුතු කරනවා. එතුමා දන්නවා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිද්ධ වෙන ආකාරය. ඒ වගේම සුජීව මුදලිගේ කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණතම වරලත් ගණකාධිකාරීවරයෙක්. ඔහු තුළ තියෙන අත්දැකීම් අපිට මේ ආයතනයේ කටයුතු කරන්න බොහෝම ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම උචිත වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ නීතිඥවරයෙක්. ඔහු ක්‍රිකට් ආයතනය සමඟ මීට පෙර කටයුතු කරලා තියෙන අතර එයාට පැවැරිලා තියෙන රාජකාරිය වන්නේ කොන්ත්‍රාත්ගත සියලු දේ පිළිබඳව සොයා බැලීම. ඒ වගේමයි අපේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් අමල් එදිරිසූරය මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද තමන්ගේ කටයුතු සඳහා ඕනෑම මොහොතක සහයෝගය දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව අර්ජුන ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

“ඒත් එක්කම අපිත් එක්ක ක්‍රිකට් කමිටුවේ ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතාත් ඉන්නවා. ඔහුත් එක්ක කතා කරලා තමයි මම මේ තනතුරට භාර ගත්තේ. මෙතැනදී අපි කියන්න ඕන අපි කරන්නේ මේකෙ පරිපාලනය සම්බන්ධ කටයුතු විතරමයි. ක්‍රිකට් පැත්ත ගැන සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ එයාලායි” යැයි මහාචාර්යවරයා සඳහන් කර සිටියේය.

මීට අමතරව තවත් කරුණු රාශියක් මෙම මාධ්‍ය හමුවේදී සාකච්ඡා කළ අතර එහිදී ප්‍රධාන වශයෙන් ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මේ මස 12 වැනිදා මෙරටට පැමිණෙන බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග සංචාරය පිළිබඳව වැඩි අවධානයක් යොමුවිණ. එම තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දීමට පියවර ගෙන තිබෙන බවත්, එහිදී එන්නත ලබා ගැනීම සම්බන්ධව කිසිදු ක්‍රීඩකයකුට බල නොකරන බවත් එය ලබා ගැනීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදුකරගත හැකි බවද මහාචාර්යවරයා අවධාරණය කර සිටියේය.

ඒ පිළිබඳ තීරණය ක්‍රීඩකයන්ගේ අභිමතය පරිදි ලබා ගැනීමට ඉඩ පහස සකසා දුන්නද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජය ගැනීම මිස වෙන කිසිවක් තමන් ක්‍රීඩකයින් වෙනුවෙන් අනිවාර්යය නොකළ බවද සිනහමුසු මුහුණින් යුතුව මහාචාර්යවරයා අදහස් දක්වා සිටියේය.

“තරගාවලිය දිනන එක ඇරෙන්න අනෙක් කිසිම දෙයක් අනිවාර්යය කළේ නෑ. අපි ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශ*යත් එක්ක නිසා මේ තරගාවලිය කොහොම හරි දිනන්න කියලා මම කණ්ඩායමෙන් ඉල්ලා සිටියා’ යි අර්ජුන ද සිල්වා ඔහුගේ වචනවලින් සඳහන් කර සිටියේය.

එම තරගාවලියද පෙර තරගාවලි පරිදිම ජෛව ආරක්ෂිත පරිසරයකට යොමු කරමින් පැවැත්වෙන නමුත් මේ අවස්ථාවේදී එය ආවරණය දේශීය මාධ්‍යවේදීන් සඳහා විවෘත වෙන බව ද සඳහන් කර සිටියේය. එහෙත් එහි පැමිණීමේදී මාධ්‍යවේදීන් වෙත කොන්දේසි පැනවෙන බව සඳහන් කර සිටි නමුත් ඒ මොනවාද යන්න ඉදිරියේදී දැනුම් දෙනු ලබන බවද මහාචාර්යවරයා සඳහන් කර සිටියේය.

මේ මස 07 වැනිදා සිට ජාතික කණ්ඩායම වෙනුවෙන්ම ස්ථීර වෛද්‍යවරයෙක් අනුයුක්ත කිරීමටද පියවර ගත් බව මහාචාර්යවරයා මෙහිදී අදහස් දක්වා සිටියේය. ඒ අනුව වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය මහතා ඉදිරි වසර 2 ක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරයා වශයෙන් නිරන්තරයෙන්ම රැඳී සිටිමින් ක්‍රීඩකයින්ගේ පෝෂණය, ශාරීරික ආබාධ ඇතුළු අනෙකුත් සියලු දේ සම්බන්ධවම සොයා බලමින් කටයුතු කරනු ඇත.

ස්ථීර වෛද්‍යවරයාගේ පහසුකමට අමතරව මනෝවිද්‍යාඥයකුගේ සහායද කණ්ඩායමේ සාමාජිකයින් වෙත ලබා දීම මහාචාර්යවරයාගේ අදහස වී තිබේ.

මේ අතර ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර අත්සන් තැබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තුවද මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ තිබෙන බවත්, එම ගිවිසුම සම්බන්ධව දෙපාර්ශ්වයම පැහැදිළි අවබෝදයක් ලබා ගැනීම වෙනුවෙන් අත්සන් තැබීම තව දින කීපයක් කල් යනු ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මේ අතර මෑතකදී අති සාර්ථකව පවත්වන ලද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මිලියන 100 ක් පමණ මුදලක් ලාභ ලැබීම පිළිබඳව පැතිර යන රාවය පිළිබඳවද මාධ්‍යවේදීන් විසින් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාගෙන් කරුණු විමසන ලදුව, ” ඔව්. ඒ කතාවේ සත්‍යතාවයක් තියෙනවා. අපි කරපු එල්.පී.එල්. එකේ එන්න තියෙන සල්ලි ඔක්කොම ආවම, අපිට ඒ තරගාවලියෙන් මිලියන 100 කට වැඩිය ලාභයක් ලැබිලා තියෙනවා” වශයෙන් පිළිතුරු ලබා දුන්නේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee