බන්දුල මොල්ලිගොඩ
ලංකා ක්‍රිකට් කණ්ඩායම (CEYLONE CRICKET TEAM) යනුවෙන් 1970 දශකයට පෙර ශ්‍රී ලංකා පිල හදුන්වනු ලැබීය. ලංකා ක්‍රිකට් කණ්ඩායම නිදහස ලැබීමට පෙර නියෝජනය කරන ලද්දේ එම අවධියේ මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. අප නිදහස් ලබන අවධියත් සමගම ලංකා කණ්ඩායමේ බහුතර සාමාජිකයන් පිරිස වූයේ මෙහි පුරවැසියන්මය.
එදා ලංකා කණ්ඩායම නියෝජනය කළ මෙරට පුරෝගාමී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් ගම් අදත් ක්‍රීඩාලෝලීනගේ මුවග නිතර රැව්දෙති. එෆ්.සී.ඩිසේරම්, එච්.අයි.කේ.ප්‍රනාන්දු, සී.අයි.ගුණසේකර, ගාමිණි ගුණසේන,මහාදේවන් සතාසිවම්,ස්ටැන්ලි ජයසිංහ සහ අනුරුද්ධ පොලොනෝවිට ඉන් කිහිපදෙනෙකි. බ්‍රිතාන්‍යයන්ගෙන් උරුම වූ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස ප්‍රචලිත ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ප්‍රචලිත කිරීමේ මුල්ම සාමාජිකයෝ මොවුහු ය.
ඉහත ක්‍රීඩකයන් අතුරින් වැඩි පිරිසක් අද ජීවතුන් අතර නැතත් ඉතිරිව සිටින දෙතුන්දෙනා අතර තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි අදත් ඒ පිළිබදව අභිමානයෙන් කතා කරන වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිළිබදව විශේෂ ඇල්මකින් කතා කරන හිටපු ක්‍රීඩකයෙකු වනුයේ වෛද්‍ය එච්.අයි.කේ.ප්‍රනාන්දුය. ලංකා කණ්ඩායමට තරග කිහිපයකදීම එදා නායකත්වය පවා ලබාදී ඇති වෛද්‍ය එච්.අයි.කේ.ප්‍රනාන්දු අද 88 හැවිදිරි වියෙහි පසුවුවත් ඔහු තවමත් නීරෝගි සම්පන්න පුද්ගලයෙකු ලෙසට සතියකට තුන් හතරවතාවක්ම ජනාකීර්ණ කොල්ලුපිටිය වෙළද සංකීර්ණ අසළ මාර්ගයෙහි ව්‍යායම සදහා කඩිසරව ගමන් කරන අයුරු අළුයම සහ සැන්දෑ කාලයන්හි දක්නට ලැබෙන අපූරු දර්ශනයකි. එච්.අයි.කේ.යනුවෙන් ඔහුගේ මිතුරන් විසින් හදුන්වනු ලැබූ මේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා අතීතයේ රසබර සිදුවීම් පිළිබදව අදහස් දක්වන අතරම වත්මන් ක්‍රීඩාව පිළිබදවද දැඩි උනන්දුවකින් කතා කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග මේ හිටපු ක්‍රිකට් දැවැන්තයා එදා සහ අද ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව දැඩි උනන්දුවකින් පළකළ අදහස් කිහිපයක් මෙසේ පළකරන්නෙමු.
එදා ක්‍රිකට් ක්‍රීඩකයනට වත්මන් පහසුකම් තිබුණේ නෑ. එක් එක් අංශයන්ට පුහුණුකරුවන් තමා අඩුම තරමින් තේරීම් කමිටුවක්වත් (SELECTION COMMITTEE) තිබුණේ නෑ. කණ්ඩායමේ නායකයා එෆ්.සී.ඩි.සේරම් එන්.සී.සී.ක්‍රීඩාංගණයේ පුහුණුවෙන් පසු ක්‍රීඩා මණ්ඩපයේ අසුනකට බරවී කොළයක පසුවදා ලංකාව සහභාගියන කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නම් ලියා දකුණතින් එම කොළය ඔහුගේ උරහිසට උඩින් පිටුපස සිටින අයෙකුට දෙනවා. හෙට ගහන ටීම් එක මෙයයි කියලා. කණ්ඩායම තේරුවේ ඒ ආකාරයට යැයි වෛද්‍ය එච්.අයි.කේ ප්‍රනාන්දු සිනහමුසු මුවින් පවසයි.
එදා පුහුණුවට සහ දක්ෂතා පෙන්වීමට කැපවීමකින් ක්‍රීඩා කළ හැකි දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම සිටියා. අදත් දක්ෂතාවයන්ගෙන් අඩුවක් මා දකින්නේ නෑ. එදා මෙන් නොව අද පිට පළාත්වලින් දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම මේ ක්‍රීඩාවට සම්බන්ධවීම මා අගය කරනවා. අන්තර් දිස්ත්‍රික්ක, පළාත් සහ අන්තර් සමාජ මට්ටමෙන් විශාල පිරිසක් සහභාගිවීම ඉතා හොදයි. විශේෂයෙන්ම පරිපාලනයට පවා පිට පළාත් දිස්ත්‍රික්කයන්ගෙන් නිලධාරීන් සම්බන්ධව සිටීම අගය කළ යුතුයැයි එම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා පවසයි.
ඒ දිනවල තිබුණේ රෝයල් – තෝමියන් අතරින් වැඩිපුරම කණ්ඩායම පිරවීමේ ක්‍රමයක් පමණයි. අද පිට පළාත්වල දක්ෂ ක්‍රීඩකයනට කණ්ඩායමට ඇතුලුවීමට අවස්ථාව ලැබීම අගය කළ යුතුයි. ලංකා කණ්ඩායමේ දක්ෂතා තවත් ප්‍රගුණ කර ගැනීමට නම් පිට පළාත්වලින් දක්ෂතම ක්‍රීඩකයන් තෝරා ඔවුන් අගනගරයට ගෙනවිත් සරිලන වැටුප් සහිත රැකියා ලබාදීමේ ක්‍රමයක් ඇති කිරීමට තමා අදාළ නිලධාරීනට යෝජනා කරන්නේ යැයිද වෛද්‍ය එච්.අයි.කේ.ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
1933 ජනවාරි 4 වැනිදා උපත ලද වෛද්‍ය එච්.අයි.කේ.ප්‍රනාන්දු බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා වයස අවුරුදු 16දී පාසලේ ජ්‍යෙෂ්ට කණ්ඩායමේ නායකත්වයට පැමිණ වසරේ හොදම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගත්තේය. ඔහුගේ විශේෂත්වයක් වූයේ ක්‍රීඩාවට සහ ඉගෙනුමට එක හා සමාන දක්ෂතා දැක්වීමය. බෙන් නවරත්නම්ගෙන් පසු ලංකා කණ්ඩායමේ හොදම කඩුලු රකින/පිතිකරු (WICKET KEEPER BATS MAN) බවට පත්වූ මොහු ආසියාවේ හොදම කඩුලු රකින /පිතිකරු ලෙස එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලද ප්‍රසිද්ධියක් දිනා සිටියේ ය.
පාසල් අවධියෙන් පස් කොළඹ විශ්ව විද්‍යාලය සහ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ එච්.අයි.කේ. එම ආයතනයන් හි ක්‍රිකට් කණ්ඩායම්වල ද නායකත්වය ද දරා වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රි ලංකා යුද හමුදාවේ සේවයට එක්විණි. පසුව එන්.සී.සී. සහ ලංකා කණ්ඩායම්වල නායකත්වය ද දැරීය. එකළ යුද හමුදාපති මේජර් ජනරාල් සේපාල ආටිගල ඔහුගේ ක්‍රීඩා දිවියට අත දුන් බව ඔහු කෘතවේදීව පවසයි.
එච්.අයි.කේ. 1952 සිට 1970 තෙක්ම ලංකා කණ්ඩායම් නියෝජනය කළ අතර තරගාවලි කිහිපයක නායකත්වය ද දැරීය. 1962 ටෙඩ් ඩෙක්ස්ටර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මෙහි පැමිණි අවස්ථාවේ එච්.අයි.කේ. රැස් කළ ලකුණු 79 ඔහුගේ හොඳම ඉනිම ලෙස හේ විශ්වාස කරයි. 1964 දී ලංකාව ඉන්දියාව පරාජය කළ අවස්ථාවේ මොහු උඩපන්දු හතරක් සහ ස්ටම්ප් කිරීම් තුනකින් කඩුලු 7ක් දවාලීමට සම්බන්ධව පසුව නොදැවී ලකුණු 38ක් ලබා දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර ජයග්‍රහණයේ නියමුවා විණි. 1964-65 ගෝපාලන් කුසලාන තරගාවලියේ දී නොදැවී ලකුණු 102ක් ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කළේය. මීට අමතරව එංගලන්ත සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් මෙහි පැමිණි අවස්ථාවන් හි මොහු දැක් වූ දක්ෂතා කාගේත් ප්‍රශංසාවට ලක්විණි.
එච්.අයි.කේ. ප්‍රනාන්දුගෙන් පසු සාන්ත පීතර විදුහලෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රිඩකයන් දෙදෙනෙකු වනුයේ රෝයි ඩයස් සහ රුමේෂ් රත්නායක ය.
වත්මන් ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් නැගී එන දක්ෂ ක්‍රිඩකයකු ලෙසට අෂේන් බණ්ඩාර නම් කළ හැකි යැයි පවසන එච්.අයි.කේ. එවැනි දක්ෂ ලාබාල ක්‍රීඩකයන් දෙතුන් දෙදෙනෙකුගේ සේවය ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගැනීමෙන් කණ්ඩායමේ අභිවෘද්ධියට එය බලපානු ඇතැයි ද කීවේ ය.
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-