slc
Home   |    News
අප්‍රේල් 30, 2021
දික්වැල්ල සහ මෙන්ඩිස් මැද පෙළට ශක්තිය දෙති

sinhala editor

Chamila Karawita reporting from Pallakele

දිවා ආහාරයෙන් පසුව ඇරැඹි තරගයේදී බංග්ලාදේශ පන්දු යවන්නන් තවත් කඩුලු 2 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිලට පීඩනය එල්ල කරද්දී 7 වැනි කඩුල්ලට එක් වූ නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 43 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් තේ පානය සඳහා නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 425 ක් දක්වා ඉහළ දැමූහ.

එම සම්බන්ධතාව පෙරටු කොට දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාල සීමාවේදී යවන ලද පන්දුවාර 30 දී ලකුණු 90 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණි. කිසිදු අසීරුවකින් තොරව ලකුණු රැස් කළ දික්වැල්ල ඔහුගේ සුපුරුදු ස්වීප්, ස්ලොග් සීවීප්, කට් පහර සහ ඩ්‍රයිව් පහර එල්ල කරමින් පන්දු 29 කදී වේගවත් ලකුණු 31 ක් ලබා ගත්තේ හතරේ පහර 4 ක් ඇතුළත් කර ගනිමිනි. ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනාම දැවී ගොස් තිබියදී දික්වැල්ල සහ මෙන්ඩිස් එක්ව ගොඩනංවන ලද මෙම සම්බන්ධතාවය, බංග්ලාදේශ නායක මොමිනුල් හක්ගේ නළලත රැළි ගන්වන ලද සම්බන්ධතාවයක් වූවාට නොඅනුමානය. තරගය නිමා කරන විට දික්වැල්ලට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 12 ක් ලබා සිටියේය.

පළමු සැසියේ පරිදිම දෙවැනි සැසියේදීත් තරගයේ පාලනය බංග්ලාදේශ පන්දු යවන්නන් සතු කරගැනීමට සමත්වීම නිසා පළමු දිනයේ තරම් ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්ව සිටිති. ඒ අනුව දිනය ආරම්භයේ සිට තේ පානය දක්වා වූ දෙවැනි දිනයේ යවන ලද පන්දුවාර 56 දී ශ්‍රී ලංකාව රැස්කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 134 කි.

ඒ අතරතුරදී තම තුන්වැනි කඩුල්ල වශයෙන් ටස්කින් අහමඩ් පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමින්. පිට ඉන්නට මඳක් ඈතින් පතිත වුණු පන්දුව දෝලනයක් සහිතව ඇදී පැතුම්ගේ පිට ඉන්න සොයා ගියේ නොසිතූ තරම් ඉපිලීමකින් තොරවය. ඒ වන විටත් ඕෂද සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට දායකත්වයක් ලබා දුන් පැතුම් ලකුණු 30 ක් ලබා සිටියේය.

එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද ප්‍රනාන්දුද ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමෙන් සිය කඩුල්ල අහිමි කර ගත්තේ පැතුම් දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්කාසු වීමට මත්තෙනි. මෙහෙදි හසන්ගේ පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර අත් ආවරණ වලත් පසුව පිත්තේත් වැදී කඩුලු රැකි ලිටන් දාස්ගේ ඈත් අත සිර වන විට ඕෂද ලකුණු 81 ක් ලබා සිටියේය. පන්ද 221 කින් සමන්විත වුණු ඕෂදගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත්විය.

පළමු සැසියේදී දවා ගත් කඩුලු 3 ට අමතරව දිවා ආහාරය වන තෙක් ක්‍රියාත්මක පන්දුවාර 26 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීම සඳහා බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් අවස්ථාව උදා කර දුන්නේ ලකුණු 43 ක් පමණි. ඉන් දිනයේ යවන ලද පළමු පන්දුවාර 14 තුළදීම ප්‍රතිවාදී පන්දු යවන්නෝ ලබා දුන්නේ ලකුණු 22 ක් පමණි.  ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම පිළිබඳව දොසක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට නැගිය නොහැක්කේ පළමු සැසියේදී බංග්ලාදේශ පන්දු යවන්ගේ දෙපසටම වූ දෝලනය සමඟ ඉතාම නිවැරදි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම මතය.

බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් වේග පන්දු යවන ටස්කින් අහමඩ් පළමු සැසියේ මූලිකයා වූවේය. පළමු කඩුල්ල වශයෙන් ළහිරු තිරිමාන්නව පිටියෙන් ඉවත් කරන විට පෙර දිනයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා ඔහු රැස් කරගැනීමට සමත්ව සිටියේ ලකුණු 09 ක් පමණි. පුරා පැය හතහමාරකට අධික කාලයක් (මිනිත්තු 445 ක්) පුරා කඩුල්ලේ රැඳී සිටි තිරිමාන්න ලකුණු 140 කට දැවී ගියේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දීර්ඝතම ඉනිම ලෙසින් සටහන් විය. පන්දු 298 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ඉන් 15 ක් හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්වූවේය.

අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ටස්කින් අහමඩ් ඉඩ ලබා දුන්නේ නැත. යවන ලද තෙවැනි පන්දුව, මැතිව්ස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී පන්දුව උඩ පන්දුවක් ලෙස කඩුලු රකින ලිටන් දාස් වෙත ඇදී ගියද ඒ සඳහා කිසිවකුත් ඉල්ලීමක් නොකිරීමේ වාසනාව මැතිව්ස්ට උදාවිය. එවන් වාසනාවක් මැතිව්ස් සතු වුවත් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට බංග්ලාදේශ පිලට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවීය. මන්ද යත් ඊට පන්දු 12 කට පසු ටස්කින්ගේ පන්දුවකටම මැතිව්ස් ලිටන් දාස් අතට උඩ පන්දුවක් ලබා දුන් බැවිනි.

පළමු තරගයේදී ශතකයක් ලද ධනංජය ද සිල්වාව තයිජුල් ඉස්ලාම් විසින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට දිනයේ තෙවැනි කඩුල්ලත් අහිමි විය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානනයේ පන්දු රැකි නජ්මුල් හොසේන් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනංජයගේ ඉනිම ලකුණු 02 කට සීමා විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම (තේ පානය වන විට) කඩුලු 6 ට ලකුණු 425 යි – (ළහිරු තිරිමාන්න 140, දිමුත් කරුණාරත්න 118, ඕෂද ප්‍රනාන්දු 81, ඇන්ජලෝ මැතිව්ස් 05, ධනංජය ද සිල්වා 02, පැතුම් නිස්සංක 30, නිරෝෂන් දික්වැල්ල 31*, රමේෂ් මෙන්ඩිස් 12*,  ටස්කින් අහමඩ් 100/3)

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest