slc
Home   |    News
අප්‍රේල් 24, 2021
දිමුත්ගේ ද්විත්ව ශතකයත් ධනංජයගේ ශතකයත් නිසා තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට

sinhala editor

Chamila Karawita reporting from Pallakele

දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද වාර්තා ගත ලකුණු 322 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් බංග්ලාදේශ පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 3 ට ලකුණු 512 ක් ලබමින් සංචාරකයින්ට එරෙහිව ප්‍රභල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (24 දා) හැකියාව ලැබිණ.

මන්දාලෝකය තරගයට හරස්වීම නිසා දිනයේ යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාවෙන් 22 ක්ම අපතේ යවමින් ප.ව. 5.25 ට විනිසුරුවරු තරගය නිමා කර දමනා විට දිමුත් කරුණාරත්න ලකුණු 234 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 154 ක් ලබා සිටියහ.

කඩුලු 3 කට ලකුණු 229 ක්ව තිබියදී දිනය ඇරැඹූ මොවුන් දෙපළ අද දිනයේදී තවත් ලකුණු 283 කින් ලකුණු පුවරුව පෝෂණය කරන ලද්දේ සිව්වැනි දිනයේ මුළුමනින්ම තමන්ගේ දිනයක් බවට පත් කර ගනිමිනි. පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ වේගය 3.72ක වේගවත් අගයක් රඳවා තබා ගිනිමින් පන්දුවට පහර දුන් වමත් – දකුණත් පිතිකරු යුගලය බංග්ලාදේශය සමඟ පළමු ඉනිමේ පරතරය ලකුණු 29 දක්වා අඩු කරගත්හ.

තරගය මෙතෙක් පැවැති දින 4 දීම පිටියේ රැදී සිටි කරුණාරත්න බංග්ලාදේශ ඉනිම පැවැති පැය 13 කට ආසන්න කාලයේ පන්දු රැකීමෙන් පසු තම කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේය. මේ වන විට පැය 11 කුත් මිනිත්තු තුනක කාලයක් පිටියේ පුරා පිටියේ රැඳෙමින් පන්දුවට පහර දෙන වමත් පිතිකරුවා ටස්කින් අහමඩ්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් මංගල ද්විත්ව ශතකය සපුරා ගත්තේය.

ලබා සිටින ලකුණු 234 සඳහා පන්දු 419 කට මුහුණ දුන් කරුණාරත්න ඉන් ලකුණු 100 ක් හතරේ පහර වලින් (හතරේ 25 ක්) රැස් කරගත්තේය. ඉතිරි ලකුණු 134 ම වෙහෙසකර ලෙසින් කඩුලු අතර දිවගොස් ලබා ගන්නා ලද ලකුණු බවට පත්විය.

පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව වශයෙන් දිමුත්ගේ ද්විත්ව ශතකය සටහන් වන අතරම වසර 7 ක කාලයකට පසු ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් සිය මව්බිම තුළදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව වශයෙන්ද දිමුත්ගේ දක්ෂාතවය සටහන් වේ. දිමුත්ට පෙර අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී ද්විත්ව ශතකයක් වාර්තා කර ඇත්තේ කුමාර් සංගක්කාර වන අතර ඔහු 2014 දී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී එම හපන්කම සිදුකර තිබේ.

දිමුත්ට අනගි සහායක් ලබා දෙමින් සිටින ධනංජය ද සිල්වා අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ 7 වැනි ශතකය රැස් කර ගත්තේය. දිමුත්ට වඩා තරමක් ප්‍රහාරාත්මක වුණු ධනංජයගේ ඉනිම සඳහා පන්දු 278 කට මුහුණ දුන්නේය. හතරේ පහර 20 කින් ද ඉනිම සරසා ගත් දකුණත් පිතිකරුවා සහ නායකයා එක්ව ගොඩනංවන ලද සම්බන්ධතාවය, ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් සිය මව්බිම තුළදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් විය. මොවුන් දෙදෙනා විසින් අද දෙවැනියට ඇද දමන ලද්දේ 2011 වසරේදී ඔස්ට්‍රේලියාවේ ෂෝන් මාෂ් සහ මයික් හසී රැස් කරන ලද ලකුණු 258 ක සම්බන්ධතාවය විය.

දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු රැක ගත් දිමුත්කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අවධානම් කළාපය හේවත් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුදවා ගත්හ. උදෑසන වරුවේ තරගය ක්‍රියාත්මක මිනිත්තු 135 ක කාලය තුළදී කඩුලු ආරක්ෂා කරගත් වමත් – දකුණත් පිතිකරු යුගලය තෙවැනි එම කාල සීමාව ඇතුළතදී තවත් ලකුණු 102 ක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3 ට ලකුණු 331 ක් දක්වා රැගෙන ආහ.

පළමු පන්දුවේදීම ලකුණු 3 ක් ලබා ගනිමින් දිනය ඇරැඹූ කරුණාරත්න සහ ධනංජය කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කළහ. ලකුණු 99 ක් ලබා සිටි අවස්ථාවේදී තරමක් සංසුන් වුණු දිමුත් ශතකය ලබා ගැනීම සඳහා තවත් පන්දු 9 ක් වැය කළේය.

දිමුත්ට පෙර බංග්ලාදේශ නායක මොමිනුල් හක්ද මෙම තරගයේදී 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ බැවින් එකම තරගයකදී දෙපිළේ නායකයින් 11 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වීම මෙම තරගයේ විශේෂත්වයක් ලෙසින් හැඳින්විය හැක.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest