slc
Home   |    News
අප්‍රේල් 3, 2021
පස්වැනි දිනයේ අභියෝගයට ශ්‍රී ලංකාව සාර්ථකව මුහුණ දෙයි

sinhala editor

පිතිකරුවන්ගේ සංයමයෙන් යුතු පිතිහරඹය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිව්වැනි ඉනිමේදී ලකුණු 377 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි සහ අවසන් දිනයට තරගය නිමා කර දමනා විට කඩුලු 2 කට ලකුණු 193 ක් ලබා ගනිමින් පූර්ණ ගෞරව සහිතව තරග 2 කින් සමන්විත ටෙස්ට තරගාවලිය නිමා කර ගත්තේය.

අවසන් දිනයේදී ලකුණු 348 ක ඉලක්කයක් ලබා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව කඩුලු 10ම තිබුණද අවධානමක් ලබා ගනිමින් තරගය අවසන් කිරීමට වඩා ජය පැරදුමෙන් තොරව තරගය අවසන් කිරීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවට පහර දුන්හ එහිදී වර්ෂාවෙන්ද ශ්‍රී ලංකාවට යම් කිසි සහනයක් ගෙන දුන්නේ කිවහොත් නිවැරදිය.

සැලසුම් සහගතිව පිතිකරණයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල දිවා ආහාරය වන තෙක්ම සිය කඩුලු ආරක්ෂා කරගත්තේ ලකුණු ලබා ගැනීමට මුල් තැන දෙනවාට වඩා කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දීම නිසාය. එහිදී ඔවුන් දෙපළ ලකුණු 93 ක් දිවා ආහාරය වන විට එක් කළේ ජය පැරදුමෙන් තොර තරගයකට වන හොඳම උදාහරණ ගෙන හැර දක්වමිනි.

තරගාවලිය පුරාම ලකුණු අතරට ඒමට උත්සාහ දැරූ නායක දිමුත් කරුණාරත්න අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට පැමිණෙමින් ශ්‍රී ලංකා ඉනිමට ජවයක් ලබා දුන් නමුත් කයිල් මේයර්ස්ගේ පන්දු යැවීම හේතුවෙන් ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ඔහුට මඟ හැරිණ. පා ආවරණයේ වැදී ශ්‍රී ලංකා නායකයා දැවී යන විටපන්දු 176 කට මුහුණ දෙමින් ලකුණු 75 ක් ලබා සිටියේය. හතරේ පහර 9 කින්ද අලංකාර වුණු දිමුත්ගේ ඉනිමත් තිරිමාන්නගේ ලකුණු 39 ත් නිසා පළමු කඩුල්ලට ලකුණු 101 ක් දක්වා දීර්ඝ සම්බන්ධතාවයක් එක් කළහ. දැවැන්ත සිරුරකින් හෙබි ක්‍රීඩකයකු වුවද රකීම් කෝන්වෝල්ගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ තිරිමාන්න දැවී ගියද ඉන් පසු පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දුද දෙවැනි ඉනිමේදී ලකුණු 66 ක් ලබා ගත්තේ තරගයනිමා වන විටත් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 146 ක්ව තිබියදී කරුණාරත්නද දැවී ගියද දිනේෂ් චන්දිමාල්ට එක් වුණු ඕෂද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධ තාවයක් ගොඩ නඟන ලද්දේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වඩාත් සුරක්ෂිත කරමිනි. තරගය නිමා වීමට ප්‍රථම ඕෂද දවා ගැනීම වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන්නද එය කඩුලු රකින ජොෂුවා ද සිල්වා විසින් අත හැර දැමීය.එම උඩ පන්දුවට ප්‍රථම ඔහු තිරිමාන්නගේද උඩ පන්දුවක් අත හැර දැමූ නමුත් ඉන් ප්‍රයෝජන ගැනීමට තිරිමාන්න අපෙහොසත් විය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සංයමයකින් යුතු පිතිහරඹය හේතුනේ නියමිත වේලාවට පෙරම තරගය අත හැර දැමීමට දෙපිළේ නායකයෝ තීරණය කළහ. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැති මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීම නිසා කණ්ඩායම් දෙකට හිමි ප්‍රසාද ලකුණු 120 න් දෙපිළම භාගය භාගය බෙදා ගත්හ. ඒ අනුව සෝබර්ස් – තිසේරා කුසලාන වෙනුවෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් වර ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වීම නිසා එහි වර්තමාන අයිතිය තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම සතුවම පවතිනු ඇත. මෙම තරගයේ වීරයා ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැත්වයිට් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ සුරංග ලක්මාල් දිනා ගත්තේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest