slc
Home   |    News
අප්‍රේල් 23, 2021
බංග්ලාදේශය ලකුණු 541 කදී ඉනිම අත්හිටුවයි

sinhala editor

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භයේදී තවත් මිනිත්තු 90 ක කාලයක් පිති හැසිරවූ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම කඩුලු 7 කට ලකුණු 541 ක් වශයෙන් තිබියදී ඉනිම හමාර කොට පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක ශ්‍රී ලංකාවට භාර දුන්නේය.

එම කාල සීමාවේදී යොමු කරන ලද පන්දුවාර 18 දී බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 67 ක් ඉනිමට එකතු කරගනිද්දී විශ්ව ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල් ප්‍රතිවාදීන්ගේ කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූහ. බංග්ලාදේශ කණ්ඩායම ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය. 2017 වසරේ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 487 මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ලිටන් දාස් වන අතර ඔහු 8 වැනි අර්ධ ශතකය වාර්තා කර ගැනීමත් සමඟ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට දැවී ගියේය. කඩුලු රැකී දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලිටන් පිටියෙන් ඉවත් වූ අතර අනතුරුව ක්‍රියාත්මක වුණු විශ්ව ඔහුගේ සිව්වැනි ගොදුර වශයෙන් තයිජුල් ඉස්ලාම්ව දවා ගත්තේය. පළමු දින දෙකේදීම කඩුලු දවා ගැනීමට නොහැකි වුණු සුරංග ලක්මාල් ඉනිමේ යවන ලද 35 වැනි පන්දුවාරයේදී පළමු කඩුල්ල වශයෙන් මෙහෙදි හසන්ගේ කඩුල්ල දවා ගත්තේය.

173 වැනි පන්දුවාරයේ අවසානයත් සමඟ බංග්ලාදේශ ඉනිම හමාර කිරීමට නායකයා තීරණය කරද්දී තම අන්තය ආරක්ෂා කරගත් මුෂ්ෆිකර් රහීම් ලකුණු 68 ක් ලබා සිටියේය. 23 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු රහීම්ගේ ඉනිම සඳහා පන්දු 156 ක් වැය කර තිබුණේ ඉන් එක් වතාවක් හයේ පහරක්ද 5 වතාවක් හතරේ පහරද එල්ල කරමිනි.

මෙම ඉනිමේදී බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 50 ට වැඩියෙන් ලබා ගැනීමට සමත්වූ අතර එය බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ එවැනි දක්ෂතාවයක් වාර්තා වුණු තුන්වැනි වතාව ලෙසින් සටහන් විය. අනතුරුව සිය පළමු ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය වන තෙක් යවන ලද පන්දුවාර 8 තුළදී ලකුණු 11 ක් ලබා සිටින්නේ එකම කඩුල්ලක් හෝ ප්‍රතිවාදීන් හමුවේ ලබා නොදෙමිනි. දිවා ආහාරයට පෙර ටස්කින් අහමඩ් විසින් යවන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට තිරිමාන්න දැවී ගිය පිතිකරුවකු ලෙසින් ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන නම් කළේය. එහෙත් එම තීරණය අභියෝගයට ලක් කිරීමේදී එය කඩුල්ලෙන් ඉවතට යන පන්දුවක් ලෙසින් දිස්වීම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමේ වාසනාව තිරිමාන්නට හිමිවිය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest