slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2021
ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

sinhala editor

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 ක් දැවී ලබා දුන් ලකුණු 541 ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 114 ක් ලබා සිටියේය. ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිම අභිබවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 9 කදී ලකුණු 427 ක් ලබාගත යුතුව තිබේ.

තේ පානයට පෙර යවන ලද අවසන් පන්දුවේදී ළහිරු තිරිමාන්න කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව අවාසනාවන්ත ලෙස දැවී ගියේය. මෙහෙදි හසන් විසින් මැද ඉන්නේ සිට කඩුල්ල තුළට එවන ලද පන්දුවට ආරක්ෂිත පහරක් එල්ල කිරීමට යෑමේදී පන්දුව පිත්ත පරයා පා ආවරණයේ වැදිණ. කරන ලද ඉල්ලීමට ප්‍රධාන විනිසුරු රුචිර පල්ලියගුරු මහතා එය දැවී යෑමක් ලෙස සංඥා කළද සිය නායකයාගේ අවසරය මත එම තීරණය තිරිමාන්න අභියෝගයට ලක් කළේය. පුණරූපණවලට අනුව එය පා ඉන්නේ අගිසි කොටසේ වැදීයන්නක් ලෙස දිස්වූයෙන් ප්‍රධාන විනිසුරුගේ තීරණයෙහි වෙනසක් සිදු නොවීය.

පළමු කඩුල්ල වෙනුවෙන් අද දිනයේදී ලකුණු 114 ක සම්බන්ධතාව හැරුණු කොට කොදෙව් පිලට එරෙහිව අවසන් වතාවටත් ක්‍රීඩා කරන ලද ඉනිමේදීද මොවුන් යුගලය ලකුණු 100 කට අධික සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත්වූහ. එම දක්ෂතාවය වාර්තා පොත් අතරට එක් වූයේ අවුරුදු 14 කට පසු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් පිට පිට ඉනිම දෙකකදී ලකුණු 100 කට වඩා ලකුණු සම්බන්ධතාවයක් පැවැත්වූ පළමු අවස්ථාව වශයෙනි.

තිරිමාන්නගේ 10 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු ලකුණු 58 කින් සමන්විත මෙම ඉනිම සඳහා ඔහු පන්දු 125 කට මුහුණ දුන්නේය. හතරේ පහර 8 කින් ද අලංකාර වුණු තිරිමාන්නගේ ඉනිමට වඩා තරමක තැන්පත් ස්වභාවයකින් පන්දුවට පහර දුන් නායක දිමුත් කරුණාරත්න පන්දු 112 කට මුහුණ දෙමින් ලකුණු 43 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

තෙවැනි දිනය ආරම්භයේදී තවත් මිනිත්තු 90 ක කාලයක් පිති හැසිරවූ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම කඩුලු 7 කට ලකුණු 541 ක් වශයෙන් තිබියදී ඉනිම හමාර කොට පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක ශ්‍රී ලංකාවට භාර දුන්නේය.

එම කාල සීමාවේදී යොමු කරන ලද පන්දුවාර 18 දී බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 67 ක් ඉනිමට එකතු කරගනිද්දී විශ්ව ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල් ප්‍රතිවාදීන්ගේ කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූහ. බංග්ලාදේශ කණ්ඩායම ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය. 2017 වසරේ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 487 මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ලිටන් දාස් වන අතර ඔහු 8 වැනි අර්ධ ශතකය වාර්තා කර ගැනීමත් සමඟ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට දැවී ගියේය. කඩුලු රැකී දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලිටන් පිටියෙන් ඉවත් වූ අතර අනතුරුව ක්‍රියාත්මක වුණු විශ්ව ඔහුගේ සිව්වැනි ගොදුර වශයෙන් තයිජුල් ඉස්ලාම්ව දවා ගත්තේය. පළමු දින දෙකේදීම කඩුලු දවා ගැනීමට නොහැකි වුණු සුරංග ලක්මාල් ඉනිමේ යවන ලද 35 වැනි පන්දුවාරයේදී පළමු කඩුල්ල වශයෙන් මෙහෙදි හසන්ගේ කඩුල්ල දවා ගත්තේය.

173 වැනි පන්දුවාරයේ අවසානයත් සමඟ බංග්ලාදේශ ඉනිම හමාර කිරීමට නායකයා තීරණය කරද්දී තම අන්තය ආරක්ෂා කරගත් මුෂ්ෆිකර් රහීම් ලකුණු 68 ක් ලබා සිටියේය. 23 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු රහීම්ගේ ඉනිම සඳහා පන්දු 156 ක් වැය කර තිබුණේ ඉන් එක් වතාවක් හයේ පහරක්ද 5 වතාවක් හතරේ පහරද එල්ල කරමිනි.

මෙම ඉනිමේදී බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 50 ට වැඩියෙන් ලබා ගැනීමට සමත්වූ අතර එය බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ එවැනි දක්ෂතාවයක් වාර්තා වුණු තුන්වැනි වතාව ලෙසින් සටහන් විය. අනතුරුව සිය පළමු ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය වන තෙක් යවන ලද පන්දුවාර 8 තුළදී ලකුණු 11 ක් ලබා සිටින්නේ එකම කඩුල්ලක් හෝ ප්‍රතිවාදීන් හමුවේ ලබා නොදෙමිනි. දිවා ආහාරයට පෙර ටස්කින් අහමඩ් විසින් යවන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට තිරිමාන්න දැවී ගිය පිතිකරුවකු ලෙසින් ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන නම් කළේය. එහෙත් එම තීරණය අභියෝගයට ලක් කිරීමේදී එය කඩුල්ලෙන් ඉවතට යන පන්දුවක් ලෙසින් දිස්වීම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමේ වාසනාව තිරිමාන්නට හිමිවිය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee