slc
Home   |    News
අප්‍රේල් 30, 2021
ශ්‍රී ලංකාවේ ඉලක්කයට කාලගුණය හරස් වෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා දමන විට කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබාගෙන සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ දෙවැනි දිනය තුළදී ලකුණු 600 ක් ලබා ගැනීම වුවත් ඉලක්ක ගත අරමුණ කරා යෑමට අයහපත් කාලගුණය හරස් විය.

පළමු දිනයේදී ලකුණු 291 ක් රැස් කළ ශ්‍රී ලංකා පිලට පන්දුවාර 65 කට සීමාවුණු අද දිනයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. ආරම්භයේ සිටම වළාකුළු වලින් බරව තිබූ කාලගුණ තත්ත්වය ප්‍රයෝජනයට ගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඒ අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූහ.

දිනයේ සමස්ථයක් ගත් විට බංග්ලාදේශ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව වෙත දැඩි පීඩනයක් එල්ල වුණු නමුත් ඒ අතරින් සාර්ථක වුණු නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතාවයක් පවත්වමින් දිනය අවසන් වන තෙක්ම කඩුලු ආරක්ෂා කරගැනීමට සමතව සිටිති.

ප්‍රවේගකාරී පිතිහරඹයක  නියැළුණු දික්වැල්ල පන්දු 64 කදී ලකුණු 64 ක් ලබා සිටින්නේ තම 18 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කියමිනි. 45 වැනි ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් සිටින දික්වැල්ල තවමත් ශතකක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටින බැවින් මෙතෙක් සිහිනයක්ව පවතින එම හීනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මෙම ඉනිම ඔහුට හොඳ අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ.

කිසිදු අසීරුවකින් තොරව ලකුණු රැස් කළ දික්වැල්ල ඔහුගේ සුපුරුදු ස්වීප්, ස්ලොග් සීවීප්, කට් පහර සහ ඩ්‍රයිව් පහර එල්ල කරමින් මුහුණ දුන් 48 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. හතරේ පහර 7 ක් ඇතුළත් ඇතුළත්ව රමේෂ් මෙන්ඩිස් එක්ව ගොඩනංවන ලද මෙම සම්බන්ධතාවය, බංග්ලාදේශ නායක මොමිනුල් හක්ගේ නළලත රැළි ගන්වන ලද සම්බන්ධතාවයක් වූවාට නොඅනුමානය. තරගය නිමා කරන විට දික්වැල්ලට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 22 ක් ලබා සිටියේය.

අදාළ සම්බන්ධතාවය අතරතුරදී රමේෂ් මෙන්ඩිස් විසින් අවස්ථාවක් ලබා දුන් නමුත් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි නජ්මුල් හොසේන් එය අතහැර දැමුවේය. මෙම ඉනිම ක්‍රියාත්මක වීමේදී නජ්මුල් විසින් අත හරින ලද දෙවැනි උඩ පන්දුව බවට එය පත්විය. මීට පෙර ලකුණු 28 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න ලබා දුන් උඩ පන්දුවද නජ්මුල් අතින් ගිලිහී ගිය අතර එහි භයානක ප්‍රතිඵලය වූයේ දිමුත් සිය 12 වැනි ටෙස්ට් ශතකය (118) වාර්තා කර ගැනීමය. අත හැරි උඩ පන්දු දෙකම ටස්කින් අහමඩ්ගේ පන්දුවලට ලබා දුන් උඩ පන්දු වීමද විශේෂත්වයකි.

පළමු සැසියේ පරිදිම දෙවැනි සැසියේදීත් තරගයේ පාලනය බංග්ලාදේශ පන්දු යවන්නන් සතු කරගැනීමට සමත්වීම නිසා පළමු දිනයේ තරම් ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්ව සිටිති. ඒ අනුව දිනය ආරම්භයේ සිට තේ පානය දක්වා වූ දෙවැනි දිනයේ යවන ලද පන්දුවාර 56 දී ශ්‍රී ලංකාව රැස්කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 134 කි.

ඒ අතරතුරදී තම තුන්වැනි කඩුල්ල වශයෙන් ටස්කින් අහමඩ් පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දවමින්. පිට ඉන්නට මඳක් ඈතින් පතිත වුණු පන්දුව දෝලනයක් සහිතව ඇදී පැතුම්ගේ පිට ඉන්න සොයා ගියේ නොසිතූ තරම් ඉපිලීමකින් තොරවය. ඒ වන විටත් ඕෂද සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට දායකත්වයක් ලබා දුන් පැතුම් ලකුණු 30 ක් ලබා සිටියේය.

එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් ඕෂද ප්‍රනාන්දුද ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමෙන් සිය කඩුල්ල අහිමි කර ගත්තේ පැතුම් දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්කාසු වීමට මත්තෙනි. මෙහෙදි හසන්ගේ පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර අත් ආවරණ වලත් පසුව පිත්තේත් වැදී කඩුලු රැකි ලිටන් දාස්ගේ ඈත් අත සිර වන විට ඕෂද ලකුණු 81 ක් ලබා සිටියේය. පන්ද 221 කින් සමන්විත වුණු ඕෂදගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත්විය.

පළමු සැසියේදී දවා ගත් කඩුලු 3 ට අමතරව දිවා ආහාරය වන තෙක් ක්‍රියාත්මක පන්දුවාර 26 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීම සඳහා බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් අවස්ථාව උදා කර දුන්නේ ලකුණු 43 ක් පමණි. ඉන් දිනයේ යවන ලද පළමු පන්දුවාර 14 තුළදීම ප්‍රතිවාදී පන්දු යවන්නෝ ලබා දුන්නේ ලකුණු 22 ක් පමණි.  ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම පිළිබඳව දොසක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට නැගිය නොහැක්කේ පළමු සැසියේදී බංග්ලාදේශ පන්දු යවන්ගේ දෙපසටම වූ දෝලනය සමඟ ඉතාම නිවැරදි ඉලක්කයකට පන්දු යැවීමට සමත්වීම මතය.

බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් වේග පන්දු යවන ටස්කින් අහමඩ් පළමු සැසියේ මූලිකයා වූවේය. පළමු කඩුල්ල වශයෙන් ළහිරු තිරිමාන්නව පිටියෙන් ඉවත් කරන විට පෙර දිනයේ ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා ඔහු රැස් කරගැනීමට සමත්ව සිටියේ ලකුණු 09 ක් පමණි. පුරා පැය හතහමාරකට අධික කාලයක් (මිනිත්තු 445 ක්) පුරා කඩුල්ලේ රැඳී සිටි තිරිමාන්න ලකුණු 140 කට දැවී ගියේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ දීර්ඝතම ඉනිම ලෙසින් සටහන් විය. පන්දු 298 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ඉන් 15 ක් හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්වූවේය.

අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ටස්කින් අහමඩ් ඉඩ ලබා දුන්නේ නැත. යවන ලද තෙවැනි පන්දුව, මැතිව්ස්ගේ පිත්තේ පිටත දාරයේ වැදී පන්දුව උඩ පන්දුවක් ලෙස කඩුලු රකින ලිටන් දාස් වෙත ඇදී ගියද ඒ සඳහා කිසිවකුත් ඉල්ලීමක් නොකිරීමේ වාසනාව මැතිව්ස්ට උදාවිය. එවන් වාසනාවක් මැතිව්ස් සතු වුවත් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට බංග්ලාදේශ පිලට වැඩි වේලාවක් බලා සිටීමට සිදු නොවීය. මන්ද යත් ඊට පන්දු 12 කට පසු ටස්කින්ගේ පන්දුවකටම මැතිව්ස් ලිටන් දාස් අතට උඩ පන්දුවක් ලබා දුන් බැවිනි.

පළමු තරගයේදී ශතකයක් ලද ධනංජය ද සිල්වාව තයිජුල් ඉස්ලාම් විසින් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට දිනයේ තෙවැනි කඩුල්ලත් අහිමි විය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානනයේ පන්දු රැකි නජ්මුල් හොසේන් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනංජයගේ ඉනිම ලකුණු 02 කට සීමා විය.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest