slc
Home   |    News
අප්‍රේල් 2, 2021
ශ්‍රී ලංකාව අභියෝගාත්මක හඹා යෑමක

sinhala editor

පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 377 ක අභියෝගාත්මක ඉලක්කයක් බ්‍රහස්පතින්දා දිනයේදී ලබා දුන්හ. ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ සිව්වැනි දින අවසන් වන විට එම ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය.

දිනය අවසන් වන විට ළහිරු තිරිමාන්න ලකුණු 17 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 11 ක් ලබා පස්වැනි සහ අවසන් දිනයේදීත් ශ්‍රී ලංකාව මුදවා ගැනීමේ මෙහෙයුමේ පෙරගමන් කරුවන් බවට පත්වෙමින් කඩුල්ලේ රැඳී සිටිති. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් දිනයේදී තවත් ලකුණු 348 ක් ලබා ගත යුතු වන අතර ටෙස්ට් තරගයක 5 වැනි දිනයේදී එය එතරම් ලේසු පහසු කටයුත්තක් නොවනු ඇත.

දිනය ආරම්භයේදීම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 258 කට සීමා කළ සත්කාරක කොදෙව්වෝ යළිත් දෙවැනි ඉනිමේදී කඩුලු 4 කට ලකුණු 280 ක් ලබා ඉනිම අත් හිටුවීය. පළමු ඉනිමේදී ශතක ලාභී නායක බ්‍රැත්වයිට් යළිත් සාර්ථක වෙමින් ලකුණු 85 ක්ද, හිටපු නායක ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71 ක්ද සහ කයිල් මේයර්ස් ලකුණු 55 ක් වශයෙන් කොදෙව් දෙවැනි ඉනිම පෝෂණය කළහ. අභියෝගාත්මක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින් පන්දුවට පහර දුන් කොදෙව්වෝ එම ලකුණු ලබා ගැනීමේදී පන්දුවාරයකට දළ ලකුණු ලබා ගැනීමේ වේගය 3.85 ක් ලෙසින් රඳවා ගත්හ.

දෙවැනි ඉනිම අතරතුර පන්දු රකිමින් සිටියදී ලසිත් ඇඹුල්දෙණිය ද ආබාධයට ලක්වීම කොදෙව් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි වීමට හේතුවක් වන්නට විය. හතරේ සීමාව ආසන්නයේදී පන්දුවක් රැක ගැනීමට යෑමට කරන ලද උත්සාහයේදී වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් වෛද්‍ය කණ්ඩායමක සහයෙන් ඇඹුල්දෙණිය පිටියෙන් ඉවත්ව ගියේය. මෙම තත්ත්වය මත පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා වෙත වැඩි වගකීමක් පැවැරිණ. ඒ අනුව දෙවැනි ඉනිමේදී ධනංජය විසින් පන්දුවාර 28 ක් යැව්වද ප්‍රතිවාදී පිතිකරුවන් පන්දුවාරයකට ලබා ගන්නා ලද්දේ ලකුණු 2.89 ක් පමණි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අතරින් දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් කෙටි පන්දු වලින් සමන්විතව පන්දු යැවූවද ජේසන් හෝල්ඩර් හැර ඉන් වැඩි හරියක් නිදැල්ලේ හැරීමට කොදෙව් පිතිකරුවෝ වග බලා ගත්හ. කෙසේ වෙතත් දුර්වල පන්දු දුටු තැන පහර එල්ල කළ කොදෙව්වන් අතරින් බ්‍රැත්වයිට් සහ මේයර්ස් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් රැස් කරමින් කොදෙව් දෙවැනි ඉනිම ශක්තිමත් කළහ.

මැද පෙළින් පැමිණි හෝල්ඩර් පන්දු 88 කින් වේගවත් ලකුණු 71 ක් ලබා කොදෙව් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. ඔහුට හාත්පසින්ම වෙනස් ඉනිමක් ක්‍රීඩා කළ නායක බ්‍රැත්වයිට් සිය ලකුණු 85 ක ඉනිම සඳහා පන්දු 196 කට මුහුණ දුන්නේය.

දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 8 ක් එකතු වන අතර වාරයේදී ඉනිම හමාර කිරීමට කෙමාර් රෝච් සමත්විය. එහිදී වාර්තා වුණු එකම සුවිශේෂී සිදුවීම බවට පත්වූයේ පැතුම් නිස්සංක සිය පළමු අර්ධ ශතකය ලබා ගැනීමය. කෙමාර් රෝච්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩකයකු ලෙසින් පැමිණි හේඩ්න් වෝල්ෂ් උඩ පන්දුවක් රැක ගැනීඹ නිසා පැතුම්ගේ ඉනිම ලකුණු 51 දී නිමාවට පත්විය.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest