slc
Home   |    News
අප්‍රේල් 1, 2021
ශ්‍රී ලංකාව තවත් ලකුණු 104 ක් පිටුපසින්

sinhala editor

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 114 ක් පමණක් රැස් කර ගැනීමට සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ තවත් කඩුලු 5 ක් දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට එල්ල කළහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සත්කාරකයින්ට වඩා ලකුණු 104 ක් පිටුපසින් සිටින අතර ඉතිරිව ඇත්තේ කඩුලු 2 ක් පමණි.

ශ්‍රී ලංකාව සතු එකම සැනසිල්ල වන්නේ පෙර තරගයේදී ශතක ලාභියා වුණු පැතුම් නිස්සංක කඩුල්ලේ රැඳී සිටීමයි. එහෙත් කණස්සල්ලට හේතුවන කරුණ වන්නේ ඔහු සමඟ පන්දුවට පහර දීමට සිටින්නේ පන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු පමණක් වීමයි. වඩා ඉවසිලි වන්ත වුණු පැතුම් දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ තමන්ගේ තෙවැනි ටෙස්ට් ඉනිමට වන අතර එහිදී ඔයු පළමු අර්ධ ශතකයට ලකුණක් පසු පසින් සිටින්නේය.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින පැතුම්ගේ ලකුණු 49 ඉනිම සඳහා ඔහු පන්දු 119 කට මුහුණ දී සිටින අතර ඒ සඳහා හතරේ පහර 4 ක් පමණක් එල්ල කර තිබුණි. පැතුම්ගේ ඉනිමට අභියෝග කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් අසමත් වුවත් සමස්ථ දිනය ගත් විට ඔවුන්ගේ පන්දු යැවීමේ දක්ෂතා කැපී පෙනුණි.

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී  දිනයේ වැඩි වේලාවෙක් ශ්‍රී ලංකා පිතිකරුවන් දවා ගැනීම වෙනුවෙන් අටවල ලද උගුල් වලට ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතාමත් සූක්ෂම සහ නිවැරදි එල්ලයකට පන්දු යවනු දක්නට ලැබිණ.

ඒ සඳහා වුණු හොඳම උදාහරණය වූයේ චන්දිමාල්ගේ දවා ගැනීමය. පා ඉන්න ප්‍රදේශයට ආසන්නයෙන්, ලෙග් සයිඩ් කළාපයේ සහ ඩීප් ස්කෙවයාර් ලෙග් යන කළාප වල පන්දු රකින්නන් රැඳවූ ෂෙල්ඩන් ගේබ්‍රියල් චන්දිමාල්ට කෙටි පන්දු වැළක් යොමු කළේය. අටවන ලද උගුල පිළිබඳව හොඳ අවබෝධයක් චන්දිමාල් සතුව පැවැතියද දිගින් දිගටම එල්ල කරන ලද කෙටි පන්දු හේතුවෙන් ඔහුගේ සංයමය බිඳී ගියේ ඔහුටත් නොදැනීමය. පපුව ප්‍රදේශයට එවන ලද කෙටි පන්දුවට හුක් පහරක් එල්ල කිරීමට යෑමේදී එය ස්ක්‍යෙවයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි අතිරේක පන්දු රකින්නෙකු වූ හේඩ්න් වෝල්ස් විසින් සුරැකිව රැක ගනිද්දී චන්දිමාල්ගේ ඉනිම ලකුණු 44 කදී නිමාවට පත් විය.

එපමණක් නොව පන්දු 186 ක් පුරා ඉනිමේ වාර්තා වුණු චන්දිමාල් – ධනංජය අතර වුණු වඩාත් ඵලදායීම සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 75 දී නිමාවට පත්විය. එම දැවී යෑමට ප්‍රථම චන්දිමාල් දවා ගැනීම වෙනුවෙන් තවත් අවස්ථාවක් ලබා දුන් නමුත් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි රකීම් කෝන්වෝල් අතින් එය ගිලිහී ගියේය. ග්‍රේබ්‍රියල් එවන ලද කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී එම උඩ පන්දුව ඇදි යන විට චන්දිමාල් ලකුණු 34 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ අවාසනාවන්තදායකම සිදුවීම වූයේ ධනංජය ද සිල්වාගේ දැවී යෑමයි. ජර්මේන් බ්ලැක්වුඩුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරු ජොයෙල් විල්සන් එය දැවී යෑමක් ලෙසින් සටහන් කළේය. පිට ඉන්නට පිටතින් පතිතව තියුණු ලෙස දඟ කැවෙමින් ආ පන්දුවට ප්‍රධාන විනිසුරුවරයා ලබා දුන් තීරණයට හිස නමමින් ධනංජය කිසිත් නොදොඩා පිටියෙන් ඉවත් විය. එහෙත් පුණරූපවණවලදී ලබා දෙනු ලබන බෝල් ට්‍රැකිං (Ball Tracking) හෙවත් පන්දුවේ ගමන් මඟ හඳුනා ගැනීම සඳහා යොදා ගනු ලබන තාක්ෂණයේදී එම පන්දුව කඩුල්ලේ නොවැදී යන පන්දුවක් ලෙසින් සටහන් විය. ජොයල් විල්සන් විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කරමින් තෙවැනි විනිසුරු දක්වා එම රැගෙන යෑමට ධනංජය උනන්දු වූයේ නම් තව දුරටත් පිටියේ රැඳී සිටීමේ අවස්ථාව ඔහුට නියතයෙන්ම හිමිවනු ඇත.

ධනංජයගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කණ්ඩායමේ නම් දැරූ අවසන් පිතිකරුවා වන නිරෝෂන් දික්වැල්ලද ලකුණු 20 කට දැවී ගියේ ශ්‍රී ලංකා පිල තවත් අසීරුතාවයට ඇද දමමිනි. ජේසන් හෝල්ඩර් විසින් යොමු කරන ලද පන්දුවට කඩුලු රකින්නා උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ යැයි කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු ප්‍රතික්ෂේප කළේය. ශරීරයත් පිත්තත් අතරින් පන්දුව දික්වැල්ලගේ ශරීරය පසු කර යද්දී ශබ්ද 2 ක් ඇසීම මත කඩුලු රකින ජොෂුවා ද සිල්වා යෝජනා කර සිටියේ එය තෙවැනි විනිසුරු වෙත යොමු කළ යුතු බවයි. එසැනින් එය තෙවැනි විනිසුරු දක්වා යොමු කිරීමට නායකයා තීරණය කළ අතර පුණරූපණවලට අනුව එය ශරීරයේ වැදීමට ප්‍රථම පිත්තේ ඇතුල් දාරයේ වැදී ගිය උඩ පන්දුවක් ලෙසින් දිස් විය. දික්වැල්ල දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 203 ක් ලෙසින් සටහන් විය. පන්දු යවන්නන් අතරින් රකීම් කෝන්වෝල් පමණක් කඩුල්ලක් දවා ගැනීමට අසමත් වද්දී පන්දු යැවූ සෙසි පන්දු යවන්නන් 6 දෙනා කඩුලු දවා ගැනීමට සමත්වූහ. ඒ අතරින් අල්සාරි ජෝසප් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවා ගෙන පන්දු යැවීමෙන් කැපී පෙනුණහ. හෙට තරගයේ සිව්වැනි දිනයයි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest