slc
Home   |    News
අප්‍රේල් 25, 2021
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 107 කින් ඉදිරියට

sinhala editor

Chamila Karawita reporting from Pallakele

පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනටත් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නියැළුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිවා භෝජනය දක්වා වූ කාලය තෙක් පන්දුවට පහර දෙමින් ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 648 ක් දක්වා ඉහළ දමා ගත්හ. බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 107 ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා භෝජනය අතරතුරදී ඉනිම අත්හිටුවා දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ පිලට ආරාධනර කළේය.

සිව්වැනි දින අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවැසූ පරිදි ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්  පෙර දිනයේ ශතක ලාභීන් වූ දිමුත් සහ ධනංජය ලකුණු ලබා ගැනීවේ වේගය ඉක්මන් කරමින් පන්දුවට පහර එල්ල කිරීමට දැඩි උනන්දුවක් දැක්වූහ. එහෙත් එහි වාසිය ප්‍රයෝජනයට ගත් ටස්කින් අහමඩ් ලකුණු 09 ක් ඇතුළත ධනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු දවා ගනිමින් බංග්ලාදේශ පිලට කිසියම් අස්වැසිල්ලක් ලබා දුන්නේය.

එම දැවී යෑම් දෙකත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු බංග්ලාදේශ පන්දු යවන්නෝ පන්දුවාර 13 කුත් පන්දුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙකුම දවා ගැනීමට සමත්වූවේය. කෙසේ වෙතත් 8 වැනි කඩුල්ලට එක් වුණු වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් එකව රැස් කරන ලද ලකුණු 62 ක සම්බන්ධතාවය පෙරමුණු කොට ප්‍රතිවාදීන්ට වඩා පළමු ඉනිමේදී ලකුණු 107 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ. පන්දු 55 කට මුහුණ දුන් හසරංග හතරේ පහර 3 ක් ද සමඟ ලකුණු 43 ක්ද සුරංග ලක්මාල් පන්දු 31 කදී නොදැවී ලකුණු 22 ක්ද ලබාගත්හ.

පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල බිඳී යෑම නිසා ධනංජය ද සිල්වා පස්වැනි දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්විය. ධනංජයගේ දැවීයෑමත් සමග එතෙක් වේලා දිමුත් කරුණාරත්න සමඟ පැවැති සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයද ලකුණු 345 දී බිඳ වැටිණ. බංග්ලාදේශ පිලට එරෙහිව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වුණු එම සම්බන්ධතාවයේදී පන්දු 291 කට මුහුණ දුන් ධනංජය ලබාගත් ලකුණු 166 ක් රැස් කර ගත්තේ හතරේ පහර 22 කින් තම ඉනිම අලංකාර කර ගනිමිනි. මිනිත්තු 698 ක් පුරා කඩුල්ලේ රැදී සිටි දිමුත් කරුණාරත්න මුහුණ දුන් 437 වැනි පන්දුවේදී දැවී ගියේය. හතරේ පහර 26 ක්ද සමඟ ලකුණු 244 ක් ලබා සිටි දිමුත් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියේය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest