slc
logo
Home   |    News
අප්‍රේල් 20, 2021
”අතීත වාර්තා වැදගත් නෑ. ක්‍රීඩා කරන විලාශය අනුවයි ප්‍රතිඵලය ලැබෙන්නේ” – දිමුත්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පල්ලකැලේ ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව සුන්දරම ක්‍රීඩාංගණ අතලොස්ස අතරට එක් වන ක්‍රීඩාංගණයක් බව නොරහසකි. 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්ම ඉදිවුණු පල්ලකැලේ ක්‍රීඩාංගණය මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන විදෙස් රටවල් වල ප්‍රියතම ක්‍රීඩාංගණයක් වී හමාරය. ස්වභාව සෞන්දර්ය අතින් පමණක් නොව තණතීරුව සතු ඉපිලීම සහ වේගවත් බව වෙනවත් තණතීරුවලට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගැනීම, ප්‍රතිවාදීන්ගේ කැමැත්ත දෙගුණ තෙගුණ කරවීමට හේතු කාරක වනු ඇත.

ප්‍රතිවාදී රටවල කැමැත්ත එසේ වෙතත් පල්ලකැලේ ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම්ම වාසනාව කැන්දන් එන ක්‍රීඩාංගණයක්ද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය. මන්ද යත් එම ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග පිළිබඳව දත්ත ගෙන බැලීමේදී, එය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සුභදායී නොවන වග පෙන්නුම් කරන බැවිනs

2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම ක්‍රීඩාංගණයේදී මේ දක්වා ටෙස්ට් තරග 7 ක් පවත්වා ඇතත් සත්කාරකත්වයට ජය ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. ඔස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේ පැවැති ටෙස්ට් තරගය ජය ගැනීම හැරුණු කොට සෙසු අවස්ථා 6 න් 3 කදීම ශ්‍රී ලංකාව ලබා ඇත්තේ පරාජයන්ය.

එහෙත් බංග්ලාදේශ පිලට එරෙහිව තවත් හෝරා කීපයකින් ආරම්භ වන පළමු ටෙස්ට් තරගය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටින්නේ ක්‍රීඩා කරන විලාශය අනුව ප්‍රතිඵලය තීරණය වනවා විනා ක්‍රීඩාංගණ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් කිසිදු ඵල රහිත ක්‍රියාවක් වන බවයි.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (21 දා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා, “මං හිතන්නේ සෙල්ලම් කරන විදිය අනුව තමයි තරගයේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඒ නිසා පසුගිය දේවල් ගැන කතා කරලා හෝ හිතලා තේරුමක් නෑ” යි යනුවෙනි.

“අපේ දැන් ශක්තිය වෙලා තියෙන්නේ දඟ පන්දු යවන්නන්ට වැඩිය වේග පන්දු යවන්නන්. ඒක නිසා අපේ වේග පන්දු යවන්නන්ට දායකත්වයක් ලබාගන්න පුලුවන් හොඳම තැන තමයි පල්ලකැලේ තණතීරුවය. ඒ ගැන හිතලා තමයි අපි ක්‍රීඩා කරන්නේ” යැයි පවසන දිමුත්, “අපි බැලුවොත් ගාල්ල ක්‍රීඩාංගණය. අපිට වාසි විදියට තමයි එහි වාර්තාවන් තියෙන්නේ. නමුත් අපි අන්තිමට ගාල්ලෙදි ක්‍රීඩා කර තරගාවලිය එංගලන්තය හමුවේ පරාජයට පත් වුණා. ඒකම ඇති කළින් වාර්තා, තරගයක තීරණය සඳහා කිසිම බලපෑමක් සිදුවෙන්නේ නෑ කියන එකට”යි සඳහන් කර සිටියේය.

ටෙස්ට් තරගයකට සැලසුම් සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද්දේ දඟ පන්දු යවන්නන් උපයෝගී කරමින් බව ඕනෑම ප්‍රතිවාදියෙක් දන්නා කරුණකි. ගුණාත්මක භාවයෙන් යුතු දඟ පන්දු යවන්නන් බිහි කිරීමේදී දීර්ඝතම ඉතිහාසයක් ඇති රටක් වෙත්නම් ඒ ශ්‍රී ලංකාවය. ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ වමතින් ලොව වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින රංගන හේරත් ඒ සඳහා වන හොඳම උදාහරණ වේ.

එහෙත් මොවුන් දෙදෙනා විශ්‍රාම ගැනීමෙන් පසු තත්ත්වය හාත්පසින්ම වෙනස් වී තිබෙන බව දිමුත්ගේ අදහස් දැක්වීමේදී ගම්‍ය විය. “අපි වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් සමඟ තරගයට යනවා. මොකද අපි අන්තිමට ක්‍රීඩා කළ තරගාවලිවලදී අපේ වේග පන්දු යවන්නන් ඉතා හොඳින් වගකීම ඉටු කළා. ඇඹුල්දෙණිය ආබාධයකට ලක් වුණ හින්දම නොවෙයි. නමුත් අපි බැලුවොත් බංග්ලාදේශ කණ්ඩායම, එයාලා වේග පන්දු යවන්නන්ට මුහුණ දීමේදී පොඩි දුර්වලතාවයක් දක්වනවා. ඒ වගේම ඔවුන්ගේ ශක්තියත් ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නන්.

“අපේ දඟ පන්දු යවන්නන් තවමත් තරුණ ක්‍රීඩකයින්. නමුත් අපි බැලුවොත් අපේ වේග පන්දු යවන්නෝ ගැන, ඔවුන් අවසන් මාස කීපයේදී කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳ කාර්යය භාරයක් ඉටු කරලා තියෙනවා. කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගාවලියේදී  තරගාවලියේ වීරයා වුණු සුරංග ලක්මාල් අප සතුව සිටිනවා. ඒ නිසා අපි අපේ වේග පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් දීලා ඔවුන්ගෙන් ගන්න පුලුවන් දේ ලබාගත යුතුයි” යැයි දිමුත් කණ්ඩායම සතු සැලසුම් වඩාත් සාධාරණීය කරණය කරමින් අදහස් දක්වා සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස් යළිත් කණ්ඩායමට පැමිණීමත් සමඟ අවසන් 11 දෙනාට ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න පවතින්නේ තද බල උණුසුමකි. මේ පිළිබඳව ද මාධ්‍යවේදීන් කරන ලද ප්‍රශ්න කිරීමේදී නම් කොට සිටින 18 දෙනෙකුගෙන් යුතු සංචිතයෙන් අවසන් 13 දෙනෙකු නම් කර තිබෙන බවත් අවසන් 11 දෙනා හෙට උදෑසන තණතීරුව නිරීක්ෂණයෙන් පසු තීරණය කරන බවයි.

“ඇත්තටම බැලුවොත් චන්දියි (දිනේෂ් චන්දිමාල්) සහ ඇන්ජි (ඇන්ජලෝ මැතිව්ස්) අතර තමයි පිතිකරුවන් අතර තරගය තියෙන්නේ. ඔබ දන්නවා අනිත් අය පසුගිය මාස කීපයේදීම ඔවුන්ගේ වගකීම් හරියටම ඉටු කරලා තියෙන වග” යි හෙට තරගයේදී පිතිකරුවකු ලෙස චන්දිමාල්ට අවස්ථාවක් නොමැති වග ඉඟි කර සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee