slc
logo
Home   |    News
අප්‍රේල් 25, 2021
තරග ජය ගැනීමේ අවස්ථාවක් තියෙනවා – මිකී ආතර්

sinhala editor

Chamila Karawita reporting form Pallakele

බංග්ලාදේශ පළමු ඉනිම පසුකර යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 29 ක් ලබා ගත යුතුව ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ අදහස වී ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පවතින බවයි.

සිව්වැනි දිනය පුරා නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා කඩුලු ලබා නොදී පන්දුවට පහර දීම නිසා සිව්වැනි දිනට තරගය අහවර කරන විට බංග්ලාදේශ පිල කඩුලු 7 ක් දැවී  ලබා දුන් ලකුණු 541 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 512 ක් ලබා සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් කඩුලු 7 ක් ඉතිරිව ඇතත් ආතර්ගේ අදහස ඉෂ්ට කර ගැනීමට නම් පස්වැනි දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලකුණු ලබා ගැනීමේ වේගය මීට වඩා වැඩි කළ යුතු වේ.

“නිසැකවම අපි ජයග්‍රහණය ගැනයි සිතමින් ඉන්නේ” යැයි පවසන මිකී ආතර්, “අන්න එහෙම තමයි අපි ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යා යුත්තේ’. එය ක්‍රීඩකාගාරය තුළ එතරම්ම වැදගත් සංස්කෘතියක්. අපි මේ තරගයට ක්‍රීඩා කිරීමට පැමිණ තිබෙන්නේ වාර්තා පසු පස යන්න නොවෙයි” යි සිව්වැනි දිනය අවසානයේ සඳහන් කර සිටියේය.

“මම මගේ ක්‍රීඩකයින්ට නිතරම කියන්නේ පළමුවෙන්ම ජයග්‍රාහී කණ්ඩායමක් වීමට කළින් අපිට අවශ්‍ය වන්නේ පරාජය කිරීමට අසීරු කණ්ඩායමක් බවට පත්වීමටයි. එය එක්තරා ආකාරයක හොඳ චක්‍රයක්. මම හිතන්නේ අපි පරාජය කිරීමට අසීරු කණ්ඩායමක්. විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී දැඩි ආයාසයකින් යුතුවයි ක්‍රීඩා කළේ. අපි හෙට දිනයේදීත් යම් අභිප්‍රායක නියැළිනා සිටිනවා. දවසේ කොයි වගේ වෙයිද කියලා කවුද දන්නේ..? නමුත් පීඩනය ඇතැම් විට විනෝදයක් ගෙන දෙන්නක් වේවි. පන්දු යැවීමේදී අපේ උපරිමය දැම්මොත් මොකද වෙන්නේ කියල කාටද කියන්න පුලුවන්…” යි ආතර් වැඩිදුරටත් අදහස් දක්වයි.

ප්‍රධාන පුහුණුකරුගේ අදහස එය වුවත් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිල රැගෙන ආ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් එක් අයෙක් වන ළහිරු කුමාර කලවයේ ආබාධයකට ලක්ව සිටියි. ඔහුට මෙම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පමණක් නොව ලබන 29 වැනිදා ආරම්භ වන තරගයටද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ගොස් තිබේ. කණ්ඩායම සතු එකම නම් දැරූ පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංග වන නමුත්, සුදු පන්දුවෙන් දක්වනු ලබන දක්ෂතා තරම් රතු පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඔහු තවමත් අසමත් වී සිටියි.

“නව පන්දුවත් එක්ක වේග පන්දු යවන්නන් මොනවා හරි වෙනසක් කරයි. ඒ වගේම අපි ජයග්‍රහණයේ කිට්ටුවට යනවා නම් වනිඳු හසරංගත් ඒ වෙනුවෙන් යම් සේවාවක් ඉටු කරාවි. නමුත් ඔහුට ඕනෑවට වඩා පීඩනයක් ලබා දීමට මම කැමැති නෑ. මම දකින විදියට ඔහු ඉතාම අපූරු ක්‍රීඩකයෙක්” යැයි එම අදහස් දැක්වීමේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

බංග්ලාදේශයට එරෙහිව එළන ලද සැලසුම නොසිතූ ලෙස වැරදී ගොස් තිබෙන බවද මෙම අදහස් දැක්වීමේදී ආතර් පිළිගත්තේය. “උපාය මර්ගික වැඩසටහන ගොඩක් වෙලාවට වැරදුණා විය හැකියි. පල්ලකැලේ තරගය මගේ පළමු ටෙස්ට් තරගය. ඒ නිසා එහි තණතීරුව අවබෝධ කර ගැනීමේදී ගැටලු ඇතිවෙන්න පුලුවන්. අපිට අවශ්‍ය වෙලා තිබුණේ බංග්ලාදේශයට එරෙහිව පන්දුවේ ඉපිලීමත් වේගයත් යොදාගෙන ඔවුන්ට පීඩනයක් එල්ල කරන්න. නමුත් දෙවැනි ටෙස්ට් තරගයේදී ඒ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා”යි ආතර් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee