slc
logo
Home   |    News
අප්‍රේල් 20, 2021
හොඳම ක්‍රීඩකයා නැතිව බංග්ලාදේශය හෙට පල්ලකැලේදී ශ්‍රී ලංකාව සමඟ ගැටෙති

sinhala editor

Chamila Karawita reporting from Pallakele

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (අප්‍රේල් 21) සිට දින 5 ක් මුලුල්ලේ මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙපාර්ශ්වයම ටෙස්ට් තරග අංශය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් වරට මුණ ගැසී තිබෙන අතර, ශ්‍රී ලංකාව ජය පැරදුමෙන් තොර තරගාවලි අවසානයකින්ද බංග්ලාදේශ පිල 0-2 ක තරගාවලි පරාජයකින් පසුව හෙට දිනයේදී මුණ ගැසෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියට ක්‍රීඩා කරන ලද්දේ සත්කාරකයින්ට හිමි වාසීන් රහිතව හෙවත් රටින් පිටතදී වන අතර බංග්ලාදේශ පිල පරාජය ලබන ලද්දේ සත්කාරකත්වයට හිමි සියළුම වාසීන් තමන් සතුව තිබියදී වීම මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණ බවට පත්ව තිබේ.

හෙට තරගය ඉලක්ක කොට ගෙන දෙපිළම අද (20 වැනිදා) දිනයේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පෙරවරුවේදී සිය පුහුණුවීම් වල නිරත වද්දී බංග්ලාදේශ පිල පස්වරු කාලයේදී සිය පුහුණුවීම් වල නිරත වූහ.

අද දිනය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට පුහුණුවීම් අනිවාර්යය දිනයක් නොවූවත් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයෙක්ම පුහුණුවීම් වලට සහභාගිවී සිටීම කැපී පෙනුණි. පෙර දිනයේදී පිතිකරණය සහ පන්දු යැවීම පිළිබඳව අවධානය යොමු කරමින් පුහුණුවීම් වල නිරත ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී වැඩි වශයෙන් උනන්දුවක් දැක්වූයේ පන්දු රැකීම සඳහා වූ විශේෂ පුහුණු සැසි කීපයකටය. ඉක්මන් ලකුණු ලබා ගැනීමේදී පිතිකරුවකු දුවද්දී දවා ගැනීම, හතරේ සීමාව ආසන්නයේදී, ස්ලිප් ස්ථානයේ, කඩුල්ල ආසන්නයේ මෙන්ම ඇස් මට්ටම දක්වා පැමිණෙන උඩ පන්දු රැක ගැනීම පිළිබඳ වූ පුහුණුවීම් වැඩි ප්‍රමාණයක නිරත වනු දක්නට ලැබිණ.

ඉකුත් 12 වැනිදා මෙරටට පැමිණියද බංග්ලාදේශ පිල හෙට තරගයට පෙර පල්ලකැලේ පිටියේදී පළමු වතාවට පුහුණුවීම් සිදුකරන ලද්දේ අද දිනයේදී වීම විශේෂත්වයකි. කොරෝනා වෛරස් තත්ත්වයේ බලපෑම හේතුවෙන් විදෙස් තරග සංචාරවලින් වැළකී සිටි බංග්ලාදේශ කණ්ඩායම රටින් එතෙර තරග සංචාරයකට සහභාගිවන පළමු තරගාවලිය බවට පත් වුණු මෙම තරග සංචාරය යටතේ, ඊයේ දිනයේදීත් ඔවුන්ට පුහුණුවීම් සඳහා පල්ලකැලේ ක්‍රීඩාංගණය සූදානම් ස්වරූපයෙන් තැබීමට ක්‍රීඩාංගණ බලධාරීන් පියවර ගෙන තිබූ නමුත් මීගමුවේ සිට නුවර පැමිණියේ ඊයේ දිනයේ බැවින් ඔවුහු එම පුහුණු සැසිය අවලංගු කර දැමූහ.

ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම ගත් කළ ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටද බංග්ලාදේශ 9 වැනි ස්ථානයේ සිටද මෙම තරගාවලියට අවතීර්ණ වන නමුත්, තරගාවසානය ශ්‍රී ලංකාවට වාසි දායක ලෙසින් නිමා වුවත් ප්‍රසාද ලකුණු ලබා ගැනීමේදී එය රැඳී සිටින ලකුණු 81 න් 84 දක්වා පමණක් ඉහළ යනු ඇත. එබැවින් 6 වැනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු පිල අභිබවා යෑමේ අවස්ථාව ‘සිංහයින්ට’ අහිමි වනු ඇත. මෙකී තත්ත්වය බංග්ලාදේශ පිලට වාසි වන අයුරින් හැසිරුණහොත් බංග්ලාදේශ පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 55 සිට 62 දක්වා ඉහළ යන අතර  ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 77 දක්වා පහත වැටෙනු ඇත.

දකුණු අප්‍රිකානු පිල පරාජයට පත් කිරීමෙන් පසු ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලි 6 කට සහභාගිවී තිබෙන නමුත්, ඉන් ජය ගැනීමට සමත්ව සිටින්නේ ශ්‍රී ලංකාවට පහළින් හෙවත් ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ රැඳී සිටින සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලිය පමණි. ඒ අනුව ඉතිරි තරගාවලි 5 න් නවසීලන්තයට එරෙහි තරගාවලිය 1-1 ක් සහ අවසන් වරට කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය 0-0 ක් ලෙස සමව අවසන් කර ගැනීම හැරුණු කොට පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ පැවැති තරගාවලි සියල්ල  ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව තිබේ.

කොදෙව් තරග සංචාරයෙන් හදිසියේම ඉවත් වුණු ඇන්ජලෝ මැතිව්ස් යළි කණ්ඩායමට පැමිණ සිටීම මත හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අවසන් ක්‍රීඩකයින් 11 දෙනා තේරීම තරමක් අසීරු කරුණක් බවට පත්ව තිබේ. මැතිව්ස් වෙනුවට ක්‍රීඩා කරවූ පැතුම් නිස්සංක ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කරමින් දක්ෂතා අතරට පැමිණීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. හෙට දිනයේදී තම 33 වැනි වියට පා තබනු ලබන නායක දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න ඉනිම ඇරැඹීමට නියමිත අතර ඕෂද ප්‍රනාන්දු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත. ඕෂද ක්‍රීඩා කළහොත් බොහෝ විට හෙට දිනයේදී දිනේෂ් චන්දිමාල්ට සිය ස්ථානය අහිමිවනු ඇත.

පන්දු යවන්නන් අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරගාවලියේදී කඩුලු 11 ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානය දිනූ සුරංග ලක්මාල්ට ප්‍රධාන තැන හිමිවනු ඇත. 2014 වසරේදී පන්දු යවන්නකු ලෙසින් නුවන් කුලසේකර තරගාවලියේ වීරයා සම්මානයෙන් දිනා කොදෙව් තරග සංචාරයට එක්ව සිටි ලසිත් ඇඹුල්දෙණියද (තුවාල ලැබීම) සහ දුෂ්මන්ත චමීර (පෞද්ගලික හේතූන් මත) කණ්ඩායමෙන් ඉවත්ව සිටීම නිසා විශ්ව ප්‍රනාන්දු, වනිඳු හසරංග, සහ ළහිරු කුමාරට එහි වැඩි වගකීමක් පැටවෙනු ඇත.

බංග්ලාදේශ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව ඇත්තේ 2017 වසරේදීය. තරග 2 කින් සමන්විත වූ එම තරගාවලියේ පළමුවැන්න ගාල්ලේදී පැවැති අතර එය ලකුණු 259 කින් ජය ගැනීමට සත්කාරකයින් සමත්විය. එම තරගයේදී කුසල් මෙන්ඩිස් රැස් කරන ලද ලකුණු 194 ක ඉනිම සහ රංගන හේරත්ගේ පන්දු යැවීමත් කැපී පෙනුණි.

පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි තරගයේදී ශකීබ් අල් හසන් පිත්තෙන් ශතකයක් ඇතුළු තුන් ඉරියව්වෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ පිල සමත්විය. එය ඔවුන් එතෙරකදී ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය වශයෙන් අමරණීයත්වයට පත්වූයේ එම තරගය බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ 100 වැනි තරගය බවටද පත්වීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය සඳහා ශකීබ් අල් හසන්ගේ සේවය බංග්ලාදේශ පිලට අහිමිව තිබේ. අයි. පී. එල්. තරගාවලිය සඳහා නිදහස් කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබෙන අතර එය බංග්ලාදේශ පිරිමැසිය නොහැකි අවාසියක් වන අතර කණ්ඩායමේ සමබරත්වයටද ශකීබ්ගේ අඩුව තදින්ම දැනෙනු ඇත. එබැවින් ටමීම් ඉක්බාල්, මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම් මත කණ්ඩායමේ වැඩි වගකීමක් පැවැරෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම.

බංග්ලාදේශ කණ්ඩායම – ටමීම් ඉක්බාල්, ශද්මාන් ඉස්ලාම්, නජ්මුල් හොසේන්, මොමිනුල් හක් (නායක), මුෂ්ෆිකර් රහීම්, මොහොමඩ් මිතුන්, ලිටන් දාස්, මෙහෙදි හසන්, එදාබාද් හොසේන්, ටස්කින් අහමඩ්, අබූ ජායෙඩ්, මුකිදුල් ඉස්ලාම්, නයීම් හසන්, සයිෆ් හසන්, නුරුල් හසන්, ෂුවගාටා හොම්, ෂොරිෆුල් ඉස්ලාම්, ෂොයිදුල් ඉස්ලාම්, ඛලීද් අහමද්, ටයිජුල් ඉස්ලාම්, යසීර් අලී.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest