slc
logo
Home   |    News
මැයි 28, 2021
කුසල් සහ දුෂ්මන්ත ශ්‍රී ලංකාව ගෞරවාන්විත අවසානයකට රැගෙන යති

sinhala editor

කුසල් පෙරේරාගේ නායකත්වයේ ඉනිමත් දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (28 දා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 97 ක විශිෂ්ඨ ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‍තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරකයින් හමුවේ ගෞරවාන්විතව අවසන් කර ගැනීමට සමත් වූවේය.

2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන සුපිරි ලීගය යටතේ තරග 6 කට ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකාව එහිදී ලද පළමු ජයග්‍රහණය ලෙසින් මෙම ජයග්‍රහණය සනිටුහන් වේ. මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ප්‍රසාද ලකුණු 10 ක් හිමිවන නමුත්, කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු තරගාවලිය අතරතුරදී දඬුවම් ලකුණු දෙකක් ලැබීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08 ක් බවට පත්ව තිබේ.

පළමු තරග දෙකේදී හොඳ හැටි පාඩම් ඉගෙන ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තමන් අතින් සිදුවූ සියලු අඩුපාඩු මඟ හරවා ගනිමින් ක්‍රීඩා කිරීම නිසා බංග්ලාදේශයට එරෙහිව ලකුණු 287 ක තරම් දැවැන්ත ඉලක්කයක් ලබා දීමට සමත්විය. මෙම තරගාවලිය යාටතේ වාර්තා වුණු ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්වුණු ලකුණු 287 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42 කුත් පන්දු 3 කදී ලකුණු 189 කට හමාර කිරීමට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

සිය එක්දින තරග දිවියේ  පළමු වතාවට කඩුලු5 ක් දවා ගත් දුෂ්මන්ත චමීර පළමු පන්දුවාරයේ සිටම බංග්ලාදේශ පිතිකරුවන්ට හිස රදයක් වූවේය. පළමු පන්දුවාරයේදීම ආරම්භක පිතිකරුවා දවා ගත් වමත් වේග පන්දු යවන්නා බංග්ලාදේශ ඉනිමේ ප්‍රධානතම පිතිකරුවන් වූ ටමීම් ඉක්බාල් සහ ශකීබ් අල් හසන්ගේ කඩුලු දවා ගනිමින් සත්කාරකයින්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

වේග පන්දු යවන්නකට ඉතාමත් උචිත රිද්මයක් ගොඩනගා ගනිමින් පන්දු යැවී චමීර නැවතත් 37 වැනි පස්දුවාරයේ පන්දු 3 කදී බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනකු දවා ගනිමින් ලකුණු 16 කට කඩුලු 5 ක් දවා ගනිමින් එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය.

චමීරගේදෙවැනි ආගමනයට පෙර කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම මුෂ්ෆිකර් රහීම් සහ මොසදෙක් හොසේන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක් එක් කළහ. රමේෂ් මෙන්ඩිස්ගේ මංගල එක්දින කඩුල්ල ලෙසින් මුෂ්ෆිකර් රහීම් පිටියෙන් ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු වැඩි වන්නට විය.

මෙම තරගාවලියේ පළමු වතාවට කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා එක්දින නායකයා අද දිනයේදී සිය එක්දින තරග දිවියේ 6 වැනි ශතකය වාර්තා කර ගැනීමට සමත්වීම දිනයේ සුවිශේෂීතම සිදුවීම විය. ධනුෂ්ක ගුණතිලක සමඟ ඉනිම ඇරැඹි කුසල් පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් රැස් කරන ලද්දේ පන්දු 68 ක් පමණක් වැය කරමිනි.

පෙර තරග වලදී මෙන් නොව දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය හැර අනෙක් සෑම කඩුල්ලක් අතරම සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වීම ලකුණු 300 කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් කරායෑමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවිය. ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළදී වනිඳු හසරංගගේ කඩුල්ලද දවා ගනිමින් කිසියම් පාලනයකින් යුතුව පන්දු යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වීම නොවන්නට ශ්‍රී ලංකාව පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යනු ඇත.

පන්දු 4 ක් ඇතුළත ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකගේ කඩුලු දවා ගනිමින් පෙරමුණ සෙලවීමට ටස්කින් අහමඩ් සමත් වුවත් සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් නායක කුසල් පෙරේරා, ඉනිමේ හරි අඩක් හෙවත් 5 වැනි පන්දුවාරයවන විට ලකුණු 150 සීමාව පසුකර යෑමට අවශ්‍ය පදනම සකස් කර දී තිබිණ. හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් අලංකාර වුණු කුසල්ගේ ඉනිම මහමුදුල්ලාගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකීම හමුවේ නිමාවට පත්විය.

ඒ වන විටත් කුසල් සමඟ ශ්‍රී ලංකා පිල ගොඩ ගනිමින් සිටි ධනංජය ද සිල්වා එතැන් පටන් ඉනිම හමාර වන තෙක් වූ වගකීම කරට ගෙන පන්දුවට පහර දුන්නේය. අද දිනයේදී 6 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරගත් ධනංජය ඉනිම අවසන් වන විට හතරේ පහර 4 ක් සමඟින් පන්දු 70 කදී ලකුණු 55 ක් ලබා සිටියේය.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3 ක් සිදු කරමින් තරගයට අවතීර්ණ වී සිටි අතර රමේෂ් මේනඩිස්, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබුණි. ඔවුන් තිදෙනාගේ එක්දින භෞතීස්මය ලද තරගය බවට මෙම තරගය පත්වීමද විශේෂත්වයකි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee