slc
logo
Home   |    News
මැයි 3, 2021
ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209 ක ජයක්

sinhala editor

Chamila Karawita reporting from Pallakele

සමස්ථ තරගයේ ලකුණු 178 කට කඩුලු 11 ක් දවා ගනිමින් තරගයේ වීරයා වුණු ප්‍රවීන් ජයවික්‍රම

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 10 ක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට වුණු ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 209 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය. එම ජයග්‍රහණයත් සමග තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය.

සිව්වැනි දිනය අවසානයේදී කඩුලු 2 ක් දවාගෙන සිටි ජයවික්‍රම අද දිනයේදී තවත් පිතිකරුවන් තිදෙනෙකු දවා ගනිමින් සමස්ථ තරගයේදී ලකුණු 178 කට කඩුලු 11 ක් දවා ගත්තේය. එම දක්ෂතාවය 2008 වසරෙන් පසු ටෙස්ට් භෞතීස්මයකදී ලොව පන්දු යවන්නකු කඩුලු 10 ක් දවා ගන්නා ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය. අවසන් වරට එම දක්ෂතාවය දක්වා ඇත්තේ ඔෂ්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් ක්‍රෙජ්සා විසිනි.

පස්වැනි දින ශ්‍රී ලංකා ජයග්‍රහණය හෝරාවක් පමණ ප්‍රමාද කරනු ලැබුවේ මෙහෙදි හසන්ගේ පිතිහරඹයයි. කෙසේ වෙතත් ලකුණු 177 ක් තුළ කඩුලු 5 ක් දැවී තිබියදී පස්වැනි දිනය ඇරැඹූ බංග්ලාදේශ කණ්ඩායමට තරගය ක්‍රියාත්මක හෝරාවක පමණ කාලයේදී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 50 ක් පමණි.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ලිටන් දාස් වන අතර හේ ප්‍රවීන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියේය. එම දැවී යෑමත් සමඟ පිටියට පිවිසි තයිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන් සමග එක්ව ප්‍රවීන් සහ රමේෂ්ගේ පන්දු හමුවේ ප්‍රවේසම්ව පන්දුවට පහර දුන්හ. ඒ අනුව පන්දු යැවීමේ වෙනසක් කිරීමට කාලය පැමිණ තිබෙන බව වටහා ගත් නායක කරුණාරත්න තමන් සතු අනෙක් දඟ පන්දු යවන්නා වුණු ධනංජය ද සිල්වා පිළිබඳව විශ්වාසය තැබීය. තම නායකයා බලාපොරොත්තු වූ අයුරින්ම වගකීම ඉෂ්ඨ කල ධනංජය තයිජුල් ඉස්ලාම්ගේ කඩුල්ල දවා ගත්තේය.

ලකුණු 39 ක් ලබා සිටි අවස්ථාවේදී ජයවික්‍රම විසින් එවන ලද පන්දුවකට එල්ල කරන ලද ස්වීප් පහර ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි පැතුම් නිස්සංක විසින් දක්ෂ ලෙස රැකගැනීම නිසා මෙහෙදි හසන් තම කඩුල්ල අහිමි කර ගත්තේය. පන්දුව තමන් වෙතට පැමිණීමට පෙර පන්දුව වෙත යනු දුටු පැතුම් වහා දකුණත් පෙදෙසට දිව ගියේ විදුලි වේගයෙන් පැමිණෙන පන්දුව නවතාළීමටය. මෙහෙදිගේ අවසනාවට එය උඩ පන්දුවක් ලෙස පැතුම්ගේ දෑත් අතර සිර විය.

අනතුරුව පිටියට පිවිස් අබූ ජායෙඩ්ට කඩුල්ල ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ පන්දු 2 ක් පමණි. ජයවික්‍රමගේ පස්වැනි කඩුල්ල ලෙසින් අබූ ජායෙඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 209 ක ජයග්‍රහණයක් සටහන් විය. පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් දවා ගත් ප්‍රවීන් දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 ක් දවා ගනිමින් මංගල ටෙස්ට් තරගයේදීම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබමින් ටෙස්ට් ආගමනයට අමරණීය මතකයක් එක් කරගත්තේය. ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 103 කට කඩුලු 4 ක් දවා ගත්තේය.

තරගාවලියේ වීරයා ලෙසින් පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක්ද (244) දෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයක් (118) සහ අර්ධ ශතකයක් (66) රැස් කරමින් සමස්ථ තරගාවලියේදී ලකුණු 428 ක් ලබා ගත් දිමුත් කරුණාරත්න සම්මාන දිනා ගත්තේය.  

බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 දී ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද දිමුත් කරුණාරත්න

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest