slc
logo
Home   |    News
මැයි 2, 2021
බංග්ලාදේශය කඩුලු ආරක්ෂා කරගැනීමේ සටනක

sinhala editor

Chamila Karawita reporting from Pallakele

ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ගේ තියුණුව දඟ කැවෙන දඟ පන්දු හමුවේ කඩුලු ආරක්ෂා කර ගැනීමේ දැඩි සටනක නිරතව සිටින බංග්ලාදේශ කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියේය. ජයග්‍රහණය සඳහා ලකුණු 437 ක දැවැන්ත අභියෝගයට මුහුණ දී සිටින බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගයෙන් ජය ගැනීමට නම් තවත් කඩුලු 7 කදී ලකුණු 325 ක්ද තරගයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට නම් තවත් සැසි 4 කදී කඩුලු ආරක්ෂා කරගත යුතු වේ.

බංග්ලාදේශ පිලේ දැවී ගිය කඩුලු 3 න් කඩුලු 2 ක්ම දවා ගනු ලැබුවේ ප්‍රවීන් ජයවික්‍රම විසිනි. මංගල ටෙස්ට් තරගයට සහභාගිවෙමින් පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවා ගත් ජයවික්‍රම මෙතෙක් තරගයේදී කඩුලු 8 ක් දවා ගැනීමට සමත්ව සිටියි. ටෙස්ට් භෞතීස්මයේදී කඩුලු 8 ක් දවාගැනීමට සමත්ව සිටින තෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසින්ද වාර්තා පොත් අතරට නම එකතු කරගත්තේ අජන්ත මෙන්ඩිස් සහ අකිල ධනංජය සමඟ සම තැන් ගනිමිනි.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල දවා ගනු ලැබුවේ රමේෂ් මෙන්ඩිස්ය. මැද ඉන්නේ පතිත වුණු පන්දුවට පිත්ත හුවා දැක්වුවද අදහාගත නොහැකි ලෙසින් තියුණුව දඟ කැවුණු පන්දුව ටමීම් ඉක්බාල්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින දික්වැල්ලගේ දෑත් අතර සිර විණ. දැවී යනවිටත් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් එල්ල කිරී ටමීම් ප්‍රහාරාත්මක වේගය රඳවා ගනිමින් පන්දු 26 කදී ලකුණු 24 ක් රැස් කරගෙන සිටියේය.

තමාට වඩා එක් ටෙස්ට් තරගයකින් ජ්‍යෙෂ්ඨත්වයට පත්ව සිටින රමේෂ් මෙන්ඩිස්ගේ තල්ලුවත් සමග සයිෆ් හසන්ගේ කඩුල්ල දවා ගත් ප්‍රවීන් දෙවැනි ඉනිමේ සිය කඩුලු දඩයම ඇරැඹීය. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ලකුණු අතරට පැමිණීමට දැඩි අරගලයක නිරතව සිටින සයිෆ් හසන්, දුර්වල පන්දු දුටු විට හිදැස් අතරින් හතරේ පන්දුව ගලා යෑමට සලස්වමින් ලකුණු 34 ක් ලබා ගත්තේය. මෙතෙක් තරගාවලියේ ඔහු ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් එම ලකුණු 34 සටහන් විය. පිතිකරුවාගෙන් පිටතට දඟ කැවුණු පන්දුවකට එක්ස්ට්‍රා කවර් කළාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට කරන ලද උත්සාහය වැරදී යෑමෙන් හසන් සිය කඩුල්ල අහිමි කර ගත්තේය.

තේ පානයට පන්දුවාර 3 කුත් පන්දුවක් තිබියදී නජ්මුල් හසන් දැවී ගියේ ජයවික්‍රමගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල සොයා යෑමෙනි. ආරක්ෂිත පහරක් එල්ල කළද පන්දුවේ තිබූ අදහාගත නොහැකි දඟ කැවීම නිසා පිත්තත් ශරීරයත් අතිරින් ගොස් කඩුල්ලේ වැදුණේ නජ්මුල්වද මවිත කරමිනි.

සිව්වැනි දිනයේදී දිවා ආහාරයෙන් මිනිත්තු 15 ක් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 194 ක් ලබා ඉනිම අත්හිටුවීය. තයිජුල් ඉස්ලාම් සිය පස්වැනි කඩුල්ල ලෙසින් සුරංග ලක්මාල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම අත්හිටුවා බංග්ලාදේශ පිලට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේය. දිවා විවේකයෙන් පසු තරගය ක්‍රියාත්මක කෙටි කාල සීමාවේදී සුරංග ලක්මාල්ට අමතරව වේගයෙන් පන්දුවට පහර දුන් නිරෝෂන් දික්වැල්ල සහ රමේෂ් මෙන්ඩිස් ද දැවී ගියහ.

දැවී ගිය කඩුලු 3 න් 2 ක්ම තමන් සතු කරගත් තයිජුල් ඉස්ලාම් දෙවැනි වතාවටත් සිය මව්බිමෙන් පිටතදී කඩුලු 5 ක් දවා ගත්තේය. ටස්කින් අහමඩ්ගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර තයිජුල් ඉස්ලාම් රැක ගැනීම නිසි නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වුණු දිමුත් කරුණාරත්න අද උදෑසන සිය 26 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ටෙස්ට් තරග වලදී එතරම් වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු නොවූවත් ඉක්මනින් ලකුණු රැස් කිරීමේ අවශ්‍යතාවය මත සිය පිත්ත වේගවත් කළ ශ්‍රී ලංකා නායකා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් පන්දු 78 කදී ලකුණු 66 ක් ලබා ගත්තේය. ආබාධයෙක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණු ශොරිෆුල් ඉස්ලාම් වෙනුවෙන් පන්දු රැකීමට පැමිණි යසීර් අලීගේ අදහාගත නොහැකි උඩ පන්දු රැකීම නොවන්නට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා නායකයාට හිමිවනු ඇත.

මෙහෙදි හසන්ගේ පන්දුවකට පා ඉන්න දෙසට වේගවත් පහරක් එල්ල කළද එය හිස්වැස්මක් පළඳමින් ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකි යසීර් අලීගේ කකුලත් අතත් අතර හිර නොවන්නට පිට පිටම ඉනිම 3 කදී ශතක 3 ක් ලබා ගැනීමේ අවස්ථාව දිමුත්ට උදාවන්නට තිබිණ. දැවී යන විටත් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන්නන් අතරින් ප්‍රතිවාදී පිලකට එරෙහිව වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්වීමට දිමුත් සමත්වූවේය. වර්තමාන ක්‍රීඩකයින් අතරින් ඇන්ජලෝ මැතිව්ස් පමණක් පාකිස්තානයට එරෙහිව 2013-14 වසරේදී ලකුණු 412ක් ලබා ලකුණු 400 සීමාව රැස් කර සිටියි. දිමුත් මෙම තරගාවලියේදී ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

ධනංජය ද සිල්වා සමඟ සිව්වැනි කඩුල්ලට එක්වූ දිමුත් ලකුණු 73 ක් රැස් කරමින් සිටියදී අතිරේක පන්දු යවන්නකු ලෙසින් පැමිණි සයිෆ් හසන්ගේ මංගල කඩුල්ල වශයෙන් දිමුත් පිටියෙන් ඉවත් විය. බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේදී කිසි දිනෙක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයකද සිව්වැනි ඉනිමේදී පන්දුවාර 60 ක් ඉක්මවා පන්දුවට පහර දීමට අසමත්ව සිටීමද කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 493/7 (ළහිරු තිරිමාන්න 140, දිමුත් කරුණාරත්න 118, ඕෂද ප්‍රනාන්දු 81, නිරෝෂන් දික්වැල්ල 77, ටස්කින් අහමඩ් 127/4) සහ දෙවැනි ඉනිම 194/9 – (දිමුත් කරුණාරත්න 66, ධනංජය ද සිල්වා 41, පැතුම් නිස්සාක 24, නිරෝෂන් දික්වැල්ල 24, තයිජුල් ඉස්ලාම් 72/5)

බංග්ලාදේශය පළමු ඉනිම 251 යි – (ටමීම් ඉක්බාල් 92, මොමිනුල් හක් 49, මුෂ්ෆිකර් රහීම් 40, ප්‍රවීන් ජයවික්‍රම 92/6, රමේෂ් මෙන්ඩිස් 86/2, සුරංග ලක්මාල් 30/2) සහ තේ පානය සඳහා නතර කරන විට දෙවැනි ඉනිම 112/3 යි – (සයිෆ් හසන් 34, ටමීම් ඉක්බාල් 24, මොමිනුල් හක් 27*, ප්‍රවීන් ජයවික්‍රම 31/2, රමේෂ් මෙන්ඩිස් 60/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee