slc
logo
Home   |    News
මැයි 3, 2021
බංග්ලාදේශ දෙවැනි ඉනිම අමාරුවේ දැම්ම හැටි ගැන රමේෂ් කළ හෙළිදරව්ව

sinhala editor

Chamila Karawita reporting from Pallakale

දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දවසට අවතීර්ණ ව සිටියි. ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව වන්නේ බංග්ලාදේශයේ ඉතිරි කඩුලු 5 පමණි. එය බංග්ලාදේශයට සංසන්දනය කරද්දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ ලකුණු 260 ක් පමණි. ගැටලුවකට ඇත්තේ කණ්ඩායමේ නම් දැරූ ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනාම සිව්වැනි දිනයේදීම නරඹන්නන් බවට පත්ව සිටීමයි. බංග්ලාදේශ කණ්ඩායමට ඇති එකම අස්වැසිල්ල වන්නේ කඩුලු රකින්නා වන ලිටන් දාස් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමයි.

මෙතෙක් තරගයේ බංග්ලාදේශ පිලේ දැවී ගිය කඩුලු 15 න් 13 ක්ම දවා ගැනීමට සමත්ව සිටින්නේ දඟ පන්දු යවන්නන් දෙදෙනාය. ඒ ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ය. දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය යටතේ එකම ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන මොවුන් දෙදෙනා මේ තරගයේදී ඉතාමත් හොඳ සංකලනයකින් යුතුව පන්දු යවයි. ප්‍රවීන් ජයවික්‍රම පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වද්දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 ක් දවා ගත්තේය. දෙවැනි ඉනිමේදී දැවී ගිය කඩුලු 5 න් 3 ක රමේෂ් මෙන්ඩිස්ටය. දෙකක් ප්‍රවීන්ටය.

සිව්වැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට පැමිණි රමේෂ් මෙන්ඩිස් සඳහන් කර සිටියේ,  ප්‍රවීන් සහ තමාට පන්දු යැවීමේදී ඉතා හොඳ සම්බන්ධතාවයක් පවතින බවයි. “එයයි (ප්‍රවීන්) මායි දෙන්නම ක්‍රීඩා කරන්නේ එකම ක්‍රීඩා සමාජයට. ඒ නිසා එතන බෝලිං පාර්ට්නර්ශිප් එකක් තියෙනවා. ඒ වගේම ඔහු එක පැත්තකින් බැට්ස්මන්ලාට ප්‍රෙෂර් එක දාලා ඔහු ගොඩක් හොඳට බෝල් කරනවා” යැයි සිය සහායකයා පිළිබඳව රමේෂ් අදහස් දක්වයි.

මොවුන් දෙදෙනාම ක්‍රීඩා කරන්නේ මුවර්ස් ක්‍රීඩා සමාජයට. අවසන් වරට පැවැති එල්.පී,එල්. තරගාවලියේදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් රමේෂ් මෙන්ඩිස් එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකටම ඇතුළත් වීමට සමත්විය. ප්‍රවීන්ට පෙර ජාතික කණ්ඩායමට පැමිණීමට සමත් වුවත් ප්‍රවීන්ට වඩා වැඩියෙන් රමේෂ් වැඩිපුර ක්‍රීඩා කර ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණි. ඒ ශ්‍රී ලංකාවේ අවසන් වරට පැවැති එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති දෙවැනි තරගයේදීය.

ශ්‍රී ලංකාවට අද දිනයේ කණස්සලකට කරුණක් පැවැතියේ නම් ඒ විනිසුරු තීරණ විමසීම් අවස්ථා 3 පමණි. මෙය හෙට දිනයේදී තම කණ්ඩායමට පීඩනයක් එල්ල විය හැකි අවස්ථාවක් වීමට ඉඩ තිබෙන බවද දකුණත් දඟ පන්දුයවන්නන් සඳහන් කර සිටියේය. ” පොඩි පීඩනයක් තියෙන්න පුලුවන්. නමුත් අපි ඒක ගැන ලොකුවට හිතන්නේ නෑ. මොකද අපිට තව විකට් 5 යි ගන්න තියෙන්නේ. ඒත් විකට් 5 ක් ගන්නවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් අපි හොඳ දේවල් කරගෙන ඉන්නවා. විශේෂයෙන්ම හොඳ තැන්වල පන්දු පතිත කරවලා අපේ පැත්තෙන් කරන්න ඕන උපරිම දේ විතරක් අපි කරනවා”යනුවෙන් රමේෂ් පවසයි.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී රමේෂ් දවා ගත් කඩුලු 3 අතර, ටමීම් ඉක්බාල්, නායක මොමිනුල් හක් සහ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුලු ඇතුළත් විය. මොවුන් තිදෙනාම මෙම තරගාවලියේදී ලකුණු රැස් කිරීමට සමත්වූ පිතිකරුවන්ය. එම පිතිකරුවන් දවා ගැනීම වෙනුවෙන් තමන් තුළ සැලසුමක් තිබුණේද යන්න මාධ්‍ය විසින් කරන ලද විමසීමේදී රමේෂ් මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

“අපි මීට පෙර එයාලත් එක්ක ඒ ටීම් ටුවර් එකකට ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළා. ඒ ටුවර් එකට ගහපු ගොඩක් අය මේ ටුවර් එකට ක්‍රීඩා කරනවා. ඒ නිසා ඔවුන්ට එරෙහිව ලොකු සැලසුමක් තිබ්බා. විශේෂයෙන් ඔවුන්ව දවා ගන්නා හැටි. ඔවුන් වැඩියෙන් පහර එල්ල කරන්න කැමැති තැන, දවා ගන්න ලෙසි තැන් මොනවාද, දාන්න ඕන ඒරියාස් මොනවද කියන එක අපි සැලසුම් කරගත්තා. ඒක තමයි තිබුණු සැලසුම”යි රමේෂ් පවසයි.

කොවිඩ් වසංගත කාලයේ පවා තමන් පුහුණුකරු සජීව වීරකෝන් සමඟ ඉතා වෙහෙස වී පුහුණුවීම් සිදුකළ බවද මෙහිදී අවධාරණය කර සිටියේය. ” කොරෝනා දවස් වල මම වීරෙ අයියත් (සජීව වීරකෝන්) එක්ක තමයි පුහුණුවීම් ඔක්කොම කළේ. පොඩ්ඩක් ඇක්ෂන් එක වෙනස් කළා. ඊට පස්සේ එයා මට දවසේ ගාණෙ වගේ කෝල් කරලා වෙන අඩුපාඩු මොනවද කියලා කියනවා. එතැනදී වැඩි කරගන්න ඕන මොනවද, අඩුවෙන් දාන්න ඕන මොනවද කියන එක ගැන සජීව අයියා වගේම දිනුක් අයියත් (දිනුක් හෙට්ටිආරච්චි) ලොකූ සහයෝගයක් ලබා දෙනවා”යනුවෙනි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest