slc
logo
Home   |    News
ජූනි 22, 2021
එංගලන්තයට නැති වෙන්න දෙයක් ඇති ශ්‍රී ලංකාවට ඇතිවෙන්න දෙයක් ඇති විස්සයි-20 හෙට ඇරඹෙයි

sinhala editor

By Chamila Karawita

ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ මවුබිමේදීම පන්දුවාර විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ පළමු තරගයට හෙට (23 දා) කාඩිෆ්හි සොෆියා ගාඩ්න් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි 8 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී මුණ ගැසෙන්නේ විස්සයි-20 තරග පිටියේ විශිෂ්ඨයින් ලෙස එම ශ්‍රේණිගත කිරීමේ මුදුන් පෙත්තේ රැදී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වේ.

එයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම යනු මේ වන විට ඕනෑම තත්ත්වයක් යටතේ ක්‍රීඩා කිරීමේ හැකියාවක් පෙන්නුම් කරන කණ්ඩායමක් වන බැවින් මෙම තරගාවලියේදී දේශීය තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීම යනු ශ්‍රි ලංකා කණ්ඩායමට දැවැන්ත අභියෝගයකි.

එහෙත් බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ තෙවැනි තරගයේදී ක්‍රීඩා කළ අයුරින් සෑම ක්‍රීඩකයකුටම පැවැරී ඇති වගකීම ඉටු කිරීමට ක්‍රීඩකයින් සමත් වුවහොත් ඔවුන්ට එරෙහිව අභියෝගයක් ලබා දීම කුසල් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසු නොවේ. විස්සයි-20 ආකෘතිය ගත් විට ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිහාසය නම් එතරම් සුභ දායක නොවේ. 2019 වසරේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිල මේ වන තෙක් ක්‍රීඩා කර ඇති විස්සයි-20 තරග 10 න් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ එක් තරගයක් පමණි.

ඒ අනුව බැලීමේදී මෑත කාලයේදී විස්සයි-20 තරග රටාවට අවශ්‍ය රිද්මය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් ගිලිහී ගොස් තිබෙන බව පැහැදිළිය. කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට යෑමට නම් එම තත්ත්වය කෙසේ හෝ මඟ හරවා ගනිමින් ජයග්‍රහණයට අවතීර්ණ වීමට හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් වග බලා ගත යුතු වේ.

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකත්වයක් ලබා ගැනීමේ අවස්ථාවක් පවතින්නේ නම් එය බොහෝ දුරට රඳා පවතින්නේ පිතිකරුවන්ගේ දක්ෂතා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ඉංග්‍රීසි පිතිකරුවන් කෙතරම් දුරට පාලනය කරනවාද යන්න මතය.

ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 11.00 ට ආරම්භ වන මෙම තරගයට පෙර එංගලන්ත තණතීරු පිළිබඳව අවබෝධය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සැලකිය යුතු කාලයක් ලැබී තිබුණද එම කාලයේදී පිතිකරුවන් කිසියම් සැලකිය යුතු දක්ෂතාවයක් දක්වමින් ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටිති. එහෙත් පන්දු යැවීමේ අංශය ගත් විට එය තවමත් එංගලන්ත තත්ත්වයන්ට හුරු නොවී තිබෙන බව අකමැත්තෙන් වුවද පෙන්වා දිය යුතු වේ.

එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවනුනන් හය දෙනෙකු ඇතුළත්ව සිටින අතර ඒ අතර දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප්ට කැපී පෙනෙයි. මොවුන් දෙදෙනාට අමතරව ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාද්දු ශ්‍රී ලංකා කණ්ඩායම සතු සෙසු වේග පන්දු යවන්නෝ වෙති. දඟ පන්දුයවන්නන් අතරින් වනිඳු හසරංග පළමු තෝරා ගැනීම වන අතර අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් මෙන්ම  ප්‍රවීන් ජයවික්‍රමද ශ්‍රී ලංකා පිල සතුය. ඊට අමතරව කණ්ඩායම සමබර කිරීමට දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්නද තුන් ඉරියව් භූමිකාව රඟ දැක්වීමට සූදානමින් පසුවෙති.  

හෙට තරගය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා සඳහන් කර සිටින්නේ පිටිය තුළ නිර්භයව ක්‍රීඩා කළහොත් සාර්ථක ප්‍රථිඵල අත්කර ගැනීමේ හැකියාව පවතින බවයි.

“ඇත්තටම අපිට ගැටළුව වෙලා තියෙන්නේ පුහුණුවීම් වලදී අපේ ක්‍රීඩකයින් දක්වනු ලබන දක්ෂතාවය තරගයක් අතරතුරට රැගෙන යෑමට නොහැකි වීමයි. අපි පුහුණුකරුවන් සමඟ ගොඩක් වෙලාවට කතා කරන්නේ අපි කරන දේ ප්‍රායෝගිකව තරග වලට පරිවර්තනය කරගන්නේ කොහොමද කියන එක ගැන. ක්‍රීඩකයෙක්ට ක්‍රීඩකයෙක් වෙනස්. ඒ නිසා අපි නිතරම උත්සාහ ගන්නේ ඒ ඒ ක්‍රීඩකයාට ඔවුන්ට හිමි වෙලා තියෙන වගකීම ප්‍රායෝගිකව තරගකාරී තරගයකට රැගෙන යන්නේ කොහොමද කියන එක ගැනයි” යැයි පවසන එක්දින සහ විස්සයි-20 නායකයා, “ඒක තමයි මම නිතරම කියන්නේ නිර්භීතව ක්‍රීඩා කළ යුතුයි කියලා” යැයි සඳහන් කර සිටියේය.

“හැම දේම අපිට එක රැයකින් වෙනස් වෙන්නේ නෑ. නමුත් අපි දිගින්දිගටම එකම ආකල්පයකින් ක්‍රීඩා කළොත් අපිට අවසානයේ ප්‍රතිඵල ලැබෙනවා” යැයි කුසල් වැඩිදුරටත් පවසයි.

“අපිට නැති වෙන්නෙ දෙයක් නෑ, අපිට පුලුවන් දෙයක් ඇති කරගන්න විතරයි. නමුත් එංගලන්තයට නැතිවෙන්න දෙයක් තියෙනවා. ඒ පීඩනය හැම වෙලාවෙම එංගලන්තයට තියෙනවා. නමුත් අපි බලන්නේ හොඳ ටීම් එක්ක සෙල්ලම් කරනකොට ඒ ගේම් එක අපේ පැත්තට ගන්න ගොඩක් උත්සාහ කරනවා. මොකද හොඳට කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරනකොට තමයි ක්‍රීඩකයෙක්ගේ විශ්වාසය කියන දේ වැඩි වෙන්නේ. දැන් ඉන්න ක්‍රීඩකයින්ගේ විශ්වාසය හොඳයි. ඒක අධි තක්සේරුවක් නොවෙයි. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා මේකෙ වෙනසක් කරන්න පුලුවන් කියලා. එතැනදි හරි දේවල් හරි වෙලාවෙදි කරලා හොඳ තරගයක් සෙල්ලම් කරන්න තමයි යන්නේ. ඒ මැච් එකට අනුව අපිට දිනුම පැරදුම ලැබෙයි. විශ්වාසයක් තියෙනවා එංගලන්තයට එරෙහිව හොඳ තරගයක් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා” යි කුසල් පෙරේරා පවසයි. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එංගලන්තයට බලා ගොස්ව සිටින අතර අවසන් 11 දෙනා තෝරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඉතා හොඳ ඉඩ කඩක් වෙන්ව පවතියි.

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේද ප්‍රධාන ක්‍රීඩකයින් කීප දෙනෙකුම ආබාධ හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම ශ්‍රී ලංකාවට හිමි අතිරේක වාසියකි. ඔවුන් සතු සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් සහ හොඳම වේග පන්දු යවන්නා වන ජොෆ්රා ආචර්, ආබාධිත ලැයිස්තුවට ඇතුළත් ක්‍රීඩකයින් අතර වෙති.

එංගලන්ත පිල අවසන් වරට විස්සයි-20 තරගාවලියකට සහභාගිවී ඇත්තේ ඉකුත් මාර්තු මසදී ඉන්දියාවේදීය. තරග 5 කින් සමන්විත එම තරගාවලිය 2-3 ක් ලෙසින් ඉන්දියාව හමුවේ පරාජයට පත් වුවද ඒ සෑම තරගයකදීම ඔවුහු සත්කාරකයින්ට එරෙහිව ලකුණු 160 සීමාව ඉක්මවා රැස් කර ගැනීමට සමත්ව සිටිති. රටින් පිටතදී එවැනි දස්කම් දැක්වීමට සමත්වද්දී සිය දේශීය තත්ත්වයන් වලදී කෙසේ ක්‍රීඩා කරයිද යන්න ඉහතින් සඳහන් කරන ලද්දේද මෙම දක්ෂතා සැලකිල්ලට ගැනීමේදීය.

මෙකී කරුණු අභිබවා ලීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සතු වටිනාම සම්පතක් වන්නේ වේග පන්දු පුහුණුකරු ලෙසින් චමින්ද වාස් කණ්ඩායමේ කටයුතු කිරීමය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි කරන ලද සාර්ථකම වේග පන්දු යවන්නා බවට අවිවාදිත වාස්, එංගලන්තයේ ක්‍රීඩා කිරීමෙන් ලද අත්දැකීම් වලට අමතරව හැම්ප්ෂයර් සහ වෝර්චෙස්ටර්ෂයටර් ප්‍රාන්ත කණ්ඩායම් වලට ක්‍රීඩා කරමින් ලබා ඇති අත්දැකීම් සම්භාරය ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ බෙදා ගනු ඇත. එහිදී සත්කාරක පිලේ පිතිකරුවන් දවා ගැනීම සඳහා වන සැලසුම් සකස් කිරීමද වාස් හරහා ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවනු ඇත.  

මේ අතර හෙට තරගය පිළිබඳව අදහස් දක්වා සිටින එංගලන්ත පිලේ සුපිරි පිතිකරු ජොස් බට්ලර් පවසන්නේ නවකයින් රැසකගෙන් ශ්‍රී ලංකා පිල සමන්විත වුවත් කණ්ඩායමක් ලෙස ඔවුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් බවයි.

“මම හැමතිස්සේම හිතන්නේ ශ්‍රී ලංකා පිල ශක්තිමත් කියලා. ඔවුන් සතු දැවැන්ත ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වගේම ලසිත් මාලිංගගේ සේවයත් අහිමි වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකදී ඊළඟට ඉන්න ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තත්ත්වයට එන්න ටික කාලයක් යනවා. නමුත් ශ්‍රී ලංකාව සතුව දක්ෂයින් ඉන්නවා. ඔවුන් භයානක කණ්ඩායමක්. ඒ නිසා හෙට තරගයේදී ඔවුන්ගෙන් විශාල අභියෝගයක් බලාපොරොත්තු වෙනවා” යි බට්ලර් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දුර, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම. 

එංගලන්ත විස්සයි-20 කණ්ඩායම – එයන් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටෝ, ඩේවිඩ් මාලන්, ජොස් බට්ලර්, ලියම් ලිවින්ග්ස්ටෝන්, සෑම් බිලිංග්ස්, මොයිනී අලී, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ක්‍රිස් වෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් ජෝර්ඩ්න්, අදිල් රශීඩ්, මාක් වුඩ්.  

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest