slc
logo
Home   |    News
ජූනි 29, 2021
පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්

sinhala editor

ක්‍රිස් වෝක්ස්ගේ පන්දු යැවීම අවබෝධ කරගනිමින් පන්දුවට පහර දීමට පිතිකරුවන් අපොහොසත්වීම හේතුවෙන් සත්කාරක එංගලන්තයට එරෙහිව අද (29 දා) චෙස්ටර් ලී ස්ට්‍රීට් හි පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරකයින් පෙරමුණ ගත්තේය.

ලකුණු 18 ක් ඇතුළත පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත්වීම නිසා ශ්‍රී ලංකා ඉනිම 42 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී නිමාවට පත් වන විට ලකුණු පුවරුවේ 185 ක් සටහන්ව තිබිණ. එම පහසු ඉලක්කය හඹා යෑමේදී එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් පස් දෙනෙකු දවා ගැනීමට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුවත් එක්දින එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට අත්හදා බැලීමක් ලෙසින් කණ්ඩායමට එක් කරන ලද ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝ රූට් පන්දු 91 ක් තිබියදී තේරීම් වලදී තමා පිළිබඳව තිබූ විශ්වාසය ඉෂ්ඨ කළේය.

150 වැනි එක්දින තරගයට අද දිනයේ සහභාගි වුණු රූට් එංගලන්ත පිලේ ජය සනාථ වන විට පන්දු 87 කදී ලකුණු 79 ක් ලබා සිටියේය. එංගලන්ත ඉනිමේ කොඳු නාරටිය ලෙසින් හැඳින්විය හැකි රූට්ගේ ඉනිම හතරේ පහර 4 කින් පමණක් වර්ණවත්ව තිබුණි.

ඉලක්කය හඹා යෑමේදී වේගවත් ආරම්භයක් ලබා දුන් ජොනී බෙයාර්ස්ටෝ, ලියම් ලිවිංග්ස්ටන් සමඟ එක්ව පන්දු 29 කදී වේගවත් ලකුණු 54 ක් එක් කළහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැවැන්ත පහර දීමකට ලක් කළ බෙයාර්ස්ටෝ ලකුණු 43 ක් ලබා ගත්තේ යන්තම් පන්දු 21 කට මුහුණ දෙමිනි. එය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත වූ අතර ඒ සඳහා ලිවිංග්ස්ටන්ගේ දායකත්වය පන්දු 12 කදී ලකුණු 9 කි.

ඉනිම මැද හරියේදී දුෂ්මන්ත චමීර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් යළිත් තරගයට අවතීර්ණවීමට සමත්වීඹ නිසා එංගලන්ත පිතිකරුවන් කිසියම් පසුබෑමක් පෙන්නුම් කළද තමන් සතු අත්දැකීම් සම්භාරය මැනවින් ප්‍රයෝජනයට ගත් රූට්, මොයින් අලී සමඟ එක්ව තම ඉනිමට අවශ්‍ය යුතුකම් ඉටු කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම සතු හොඳම පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර විසින් තම තුන්වැනි කඩුල්ල ලෙස මොයින් අලීව දවා ගැනීමට සමත් වුවද ඒ වන විටත් කළ යුතු හානිය කිරීමට සමත්විය.

විනය කඩ කිරීමේ චෝදනාව මත උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල  සහ ආබාධයකට ලක්වී සිටින අවිෂ්ක ප්‍රනාන්දු යන ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගේ සේවය අහිමිවීම මැද ශ්‍රී ලංකා පිල අද තරගයට අවතීර්ණ විය. කණ්ඩායම සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ධනංජය ද සිල්වාද ආබාධයක් හේතුවෙන් ඉවත්වීම මත කෝඩු කාරයන් තිදෙනෙකු වන ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම සහ චරිත් අසලංකට අද මංගල එක්දින වරම් හිමිවිය.

අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චරිත් අසලංක ලකුණු නොලබාද දසුන් ශානක ලකුණු 1 කටද දැවී යෑම නිසා ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ලකුණු 46 දී බිඳ වැටිණ. නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් පන්දුවට පහර දුන් කුසල් පෙරේරාට අනගි සහායක් ලබා දුන් වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවයක් එක් කරමින් ලකුණු පුවරුව ශක්තිමත් කළහ. ප්‍රධාන පිතිකරුවන් රහිත වීම නිසා පිතිකරණ ලැයිස්තුවේ උසස්වීම් ලද හසරංග පන්දු 65 කට මුහුණ දෙමින් ලකුණු 54 ක් රැස් කළේය. මෙය ඔහුගේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

වෝක්ස් එවන ලද කෙටි පන්දුවට හසරංග විසින් එල්ල කරන ලද පහර වැරදී යෑම නිසා ස්ක්වෙයාර් ලේග් කළාපය වෙත ගිය උඩ පන්දුව විශිෂ්ඨ ලෙස ලිවිංග්ස්ටන් රැක ගත්තේය. එතෙක් වෙලා හොඳ තත්ත්වයක රැඳී සිටි ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 ම ලකුණු 40 ක් තුළදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතර දුවද්දී දැවී යෑම් 2 ක්ද සටහන් විය.

 දැවී ගිය කඩුලු අතරට කුසල් පෙරේරාගේ කඩුල්ලද ඇතුළත් වූවේය. දැවී යන විටත් සිය 15 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරගෙන සිටි කුසල් පන්දු 81 කදී ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේ හතරේ පහර 7 ක්ද ඉනිමට ඇතුළත් කර ගනිමිනි. පන්දු යැවීමේදී වෝක්ස්ට අමතරව ඩේවිඩ් විලී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත් අතර තරගයේ වීරයා සම්මානයෙන් ක්‍රිස් වෝක්ස් පිදුම් ලැබීය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ජූලි මස පළවැනිදා ලන්ඩන්හි කෙනිංන්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest