slc
logo
Home   |    News
ජූනි 22, 2021
ලෝක කුසලාන තුනකට සත්කාරකත්වය දැරීමට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සැරසෙයි!

sinhala editor

2024 වසරේ සිට 2031 වසර දක්වා කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රධාන ලෝක කුසලාන තරගාවලි තුනකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් වූ ලංසු තැබීමට ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී පිට පිටම දෙවැනි වතාවටත් සභාපතිවරයා ලෙස පත් වුණු ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විධායක කමිටුවේ අභිනව රැස්වීමේදී ඉහත තීරණය ගෙන තිබේ. ජුනි මස 18 වැනිදා පැවැති එම විධායක කමිටුව සභා වාරයේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් තවත් තීරණ කීපයක්ම ගෙන තිබෙන අතර දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබා දීම, අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායම නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීම, ‘ඒ’ සහ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් නේවාසික වැඩ සටනක් මෙන්ම ක්‍රීඩා සමාජ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම ගනු ලැබූ තීරණ අතර ප්‍රධාන වේ.

– අයි.සී.සී. ඉසව් සඳහා ලංසු තැබීම

මෙම ලංසු තැබීමේදී 2024 සිට 2031 වසර දක්වා වූ කාල සීමාවේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය, පන්දුවාර 50 පිරිමි ලෝක කුසලාන තරගාවලිය සහ චැම්පියන්ස් කුසලාන යන තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංසු තැබීමට බලාපොරොත්තු වෙයි.

ඇතැම් විට එම ලංසු තැබීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටක් හෝ රටවල් කීපයක් සමඟ ඒකාබද්ධ ලංසුවක් ලෙසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

– දේශීය ක්‍රීඩකයින් 60 කට කොන්ත්‍රාත් ලබාදීම

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයින් 60 දෙනෙකු සඳහා සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා දීමට මෙම විධායක කමිටු රැස්වීමේදී තීරණය වී තිබේ. කොවිඩ් – 19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන අවස්ථාවන්හිදී එම ක්‍රීඩකයින්ට මූල්‍යමය වශයෙන් නැගී සිටීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත. කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා වූ ක්‍රීඩකයින් 60, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරනු ඇත.

– අවු. 19 න් පහළ ක්‍රීඩකයින්ට නේවාසික පුහුණුවක්

එළැඹෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් වයස අවුරුදු 19 න් පහළ යොවුන් සංචිතයේ පසුවන ක්‍රීඩකයින් සඳහා නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා පුරා වූ දක්ෂතා ඇති ක්‍රීඩකයින් හඳුනා ගැනීම වෙනුවෙන් පැවැති කුසලතා හඳුනා ගැනීමේ වැඩසටහනක් හරහා දැනටමත් තෝරාගෙන ඇති ක්‍රීඩකයින් 65 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට, දින 21 ක් මහනුවරදී නේවාසිකව එම පුහුණු කඳවුර පැවැත්වෙනු ඇත.

ආසියානු යොවුන් කුසලාන මෙම 2021 වසරේ ඔක්තෝම්බර් මස ඩුබායිදීත්, යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ ජනවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේදීත් පැවැත්වෙනු ඇත.

– ‘ඒ’ සහ ‘නැගී එන’ ක්‍රීඩකයින් වෙනුවෙන් නේවාසික වැඩසටහන

තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 26 දෙනෙකු සඳහා මෙම නේවාසික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘ඒ’ කණ්ඩායම් තරගාවලි ඉලක්ක කර ගනිමින් පැවැත්වෙනු ඇත. මෙම නේවාසික වැඩසටහන රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ජූනි මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය මාසයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

– ක්‍රීඩා සමාජ සඳහා මූල්‍ය ප්‍රතිපාදන

කොවිඩ් 19 ව්‍යසනය හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන සාමාජික ක්‍රීඩා සමාජ විසින් සිදුකරන ලද ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර තිබේ.

යෝජිත මූල්‍යාධාර පිරිනැමීම, විශේෂ කමිටුවක් යටතට පත් කොට ඔවුන් ලබා දෙන නිර්දේශයන් මත පදනම්ව එම ක්‍රීඩා සමාජ මූල්‍යාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. එහිදී ක්‍රීඩක සුභසාධනය ඇතුළු අදාළ ක්‍රීඩා සමාජවල ක්‍රිකට් වැඩසටහන් පවත්වාගෙන යෑම සඳහා මෙම මුදල් බෙදා දෙනු ලැබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee