slc
logo
Home   |    News
ජූලි 21, 2021
ශ්‍රී ලංකාව අත තිබූ ජයග්‍රහණය දීපාක් චහර් උදුරා ගනියි

sinhala editor

By Chamila Karawita

ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 ස්ථානයෙන්පන්දුවට පහර දුන් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දීපාක් චහාර් නොදැවී රැස් කරන ලකුණු 69 ක ඉනිම හේතුවෙන් මුලු මනින්ම ශ්‍රී ලංකාව සතුව තිබූ දෙවැනි තරගයේ ජයග්‍රහණය උදුරා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20 දා) රාත්‍රියේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ධෛර්යවන්තව පිත්ත හැසිරවූ චහාර් කඩුලු 3 ක ජයක් කරා ඉන්දීය පිල රැගෙන ගියා පමණක් නොව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජයග්‍රහණයද තම කණ්ඩායමට ලබා දුන්නේය.

ඉන්දීය පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් සියල්ල නරඹන්නන් බවට පත්ව සිටිද්දී ඉන්දීය ඉනිමේ වගකීම භාරගත් දකුණතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩකයා භූවනේෂ්වර් කුමාර් සමඟ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89 කදී ලකුණු 83 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ඉන්දීය පිල ජය ටැඹ කරා රැගෙන ගියහ.

ඉනිමේ අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය මෙම තරගයේ ශ්‍රී ලංකාවේ පවත්වා ඇති එක්දින තරග අතර තෙවැනි ඉහළතම ලකුණු හඹා යෑම වශයෙන් සටහන්වීමද කැපී පෙනිණ. වනිඳු හසරංග සහ දසුන් ශානකගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය පළමු කඩුලු 5 ම ලකුණු 116 කදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත්විය. දීපාක් චහර් පන්දුවට පහර දීමට පැමිණෙන විටත් තරගයේ සියළුම වාසීන් ශ්‍රී ලංකා පිලට දෙසට හැරී තිබූ නමුත් එතැන් පටන් පන්දු යවන්නන් කැඳවීමේ සිට ඔවුන් පිළිබඳව තැබූ විශ්වාසය රකිමින් පන්දු යැවීමට ඔවුන් අසමත්වීම මත ඈතට ගොස් තිබූ ජයග්‍රහණයට ඉන්දීය පිල කෙමෙන් කෙමෙන් ළඟා කර දීමට චහර් සමත්විය. එහිදී ලක්ෂාන් සඳකැන්ගෙන්ද වැඩි දායකත්යක් නොලැබුණා නොවේ.

තරගයේ පාලනය අතට ගැනීමට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම වූ සූර්යකුමාර් යාදව්ගේ කඩුල්ල දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වුවද අනතුරුව යවන ලද පන්දුවාරවලදී රිද්මය ගිලිහී යෑමේ වාසිය ඉන්දීය පිල සතු විය. සඳකැන්ව දැඩි ප්‍රහාරයකට ලක් කළ දීපාක් චහර් පන්දු පරතරයට වඩා ලකුණු පරතරය වැඩිව තිබූ පරතය අවම කරගත්තේය. කෙසේ වෙතත් සඳකැන් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලකුණු 71 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ.

අද වාර්තා කරගන්නා ලද අර්ධ ශතකයට පෙර පළමු පෙළ එක්දින තරගවලදී එක් අර්ධ ශතකයට පමණක් හිමිකම් කියා තිබූ දීපාක් චහර් සිය ලකුණු 69 සදහා පන්දු 82 කට මුහුණ දුන්නේය. හයේ පහරක් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම වර්ණවත් කරගනිද්දී උපනායක භූවනේෂ්වර්ගේ දායකත්වය ලකුණු 19 කිනි.

පළමු තරගයේ වූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් අවතීර්ණ වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 275 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

එහිදී කැපී පෙනුණු චරිත් අසලංක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ සිය මංගල අර්ධ ශතකයටද හිමිකම් කියමිනි. පන්දු 68 කදී හතරේ පහර 6 ක් සමඟින් අසලංක ලකුණු 65 ක් ලබා ගත්තේය. එහිදී වඩාත්ම වැදගත් වූයේ ඉනිමේ අවසන් පන්දුවාර 3 එළඹෙන තෙක්ම අසලංක කඩුල්ලේ රැඳී සිටීමය. ඔහුට අමතරව අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 50 ක් ලබාගත්තේ එක්දින තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකයට හිමිකම් කියමිනි.

පෙර තරගයේ පරිදිම පසු පෙළින් පැමිණි චාමික කරුණාරත්න ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ භුවනේෂ්වර් කුමාර්ට එරෙහිව අවසන් පන්දු දෙක තුළදී පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු 44 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය. අවසන් පන්දුවට මනරම් වූ හෙලිකොප්ටර් පහරක් එල්ල කරමින් එල්ල කරන ලද හතරේ පහරත් ඇතුළුව හතරේ පහර 5 කින් චාමික තම ඉනිම වර්ණවත් කරගත්තේ යන්තම් පන්දු 33 කට මුහුණ දීමෙනි. අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි චාමික පළමු තරගයේදීද පන්දු 35 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 43 ක් ලබා ශ්‍රී ලංකා පසු පෙළ ශක්තිමත් කළේය.

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් චාමික කණ්ඩායමට එක් වුවත් ඔහුගේ පළමු එක්දින තරග 5 ඇතුළත ඔහු ලකුණු 138 ක් රැස් කරගැනීමට සමත්ව සිටින්නේය. මේ සෑම අවස්ථාවකදීම ඔහු අංක 8 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණ රැස් කරන ලද ලකුණු වේ. ඒ අනුව සිය ජාත්‍යන්තර තරග දිවිය ආරම්භයේ අංක 8 පිතිකරණ ස්ථානයෙන් හෝ ඊට පහළින් පැමිණ පළමු තරග 5 දී වැඩිම ලකුණු රැස් කිරීමට සමත් පිතිකරුවන් අතර චාමිකට හිමිවන්නේ තෙවැනි ස්ථානය වේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙපළක් වන ඇන්ඩ්‍රෙ රසල් (147) සහ ඩිනේෂ් රාම්ඩීන් (143) චාමිකට ඉදිරියෙන් පසුවෙන පිතිකරුවෝ වෙති. සමස්ථයක් ගත් විට පළමු පන්දුවාර 40 වන තුරු ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට සමත් වීම නිසා තෙවැනි පවර් ප්ලේ අවස්ථාවට හිමි අවසන් පන්දුවාර 10 තුළදී කඩුලු දැවී ගියද ලකුණු 80 ක් රැස් කර ගැනීමට පිතිකරුවෝ සමත්වූහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee