slc
Home   |    News
අගෝස්තු 25, 2021
දසුන් ඇතුළු ‘ග්‍රේස්’ පිරිවර විස්සයි-20 ශූරයෝ වෙති

sinhala editor

Chamila Karawita reporting from Pallakale

දින 12 ක් මුළුල්ලේ කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැති ඩයලොග් ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන්  පැවැති අවසන් මහ තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 42 ක ජයක් විශිෂ්ඨ ජයක් වාර්තා කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් ක්‍රීඩකයෝ දේශීය විස්සයි-20 ශූරයින් ලෙස අද (24 දා) කිරුළු පැළඳූහ. තරගාවලියේ එකම අපරාිත කණ්ඩායම වූ ග්‍රේස් පිලට ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 20 ක මුදලක්ද හිමිවිය.

තරගාවලිය ආරම්භයේ සිටම ඉතා විශිෂ්ඨ අයුරින් ක්‍රීඩා කළ දසුන් ප්‍රමුඛ ග්‍රේස් රැළ අවසන් මහ තරගයේදීද තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීම තරගයේ කැපී පෙනෙණ. රෙඩ්ස් පන්දු යවන්නන්ට කිසිදු ඉඩ හසරක් ලබා නොදුන් ප්‍රතිවාදී ග්‍රේස් පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 201 ක් ලබා ගත්තේය. මෙතෙක් කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා එම ලකුණු සංඛ්‍යාව හඹා යෑම සඳහා පැමිණි රෙඩ්ස් පිතිකරු බල ඇණිය මෙල්ල කළ ග්‍රේස් පන්දු යවන්නෝ පන්දුවාර 19. 4 කදී ලකුණු 159 කට සීමා කළහ.

ජයග්‍රහණය හඹා යෑමේදී ඕෂද ප්‍රනාන්දු හැර සෙසු කිසිදු පිතිකරුවකුට පිටියේ වැඩි වේලාවක් රැඳී සිටීමට ග්‍රේස් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 10.05 කට වඩා වැඩි දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය කර පින්නා පැමිණි රෙඩ්ස් පිතිකරුවන් අතරින් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර හය අවසන් වීමටත් මත්තෙන් ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාව දවා ගැනීමට මතීරෂ පතිරණ සහ නුවන් ප්‍රදීප් සමත්විය. එහිදී ප්‍රථමයෙන්ම අවිෂ්ක ප්‍රනාන්දුව දවා ගත් මතීෂ සිය දෙවැනි කඩුල්ල ලෙස සීකුගේ ප්‍රසන්නගේ කඩුලු දවා ගත්තේය. එම කඩුලු 2 දවා ගැනීම වෙනුවෙන් පුලින් තරංග රැක ගන්නා ලද උඩ පන්දු 2 විශිෂ්ඨ ගණයේ විය. පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී නුවන් ප්‍රදීප් විසින් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගන්නා විටත් රෙඩ්ස් පිල රැස් කරගෙන සිටියේ ලකුණු 35 ක් පමණි.

එහෙත් ඕෂධට එක් වුණු අසේල ගුණරත්න සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 65 ක් එක් කරමින් ග්‍රේස් පන්දු යවන්නන්ට ප්‍රහාරයකට ලක් කළහ. ඕෂද හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 27 කදී ලකුණු 46 ක්ද අසේල පන්දු 21 කදී ලකුණු 22 ක්ද රැස් කළහ.

පළමු පන්දුවාර 10 අවසනදී කඩුලු 2 ක් දැවී ලකුණු 70 ක් ලබා ගෙන සිටි ග්‍රේස් කණ්ඩායම මුළුමනින්ම වෙනස් කරන ලද්දේ දසුන් ශානකගේ ඉනිමෙනි. පන්දු 17 ක් තුළ නොදැවී රැස් කරන ලද ලකුණු 48 ක ඉනිම හේතුවෙන් අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 81 ක් වාර්තා කර ගැනීමට රෙඩ්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. මුහුණ දුන් පළමු පන්දු 5 දී ලකුණු 5 ක් රැස් කරගත් ශානක සීකුගේ ප්‍රසන්නට එල්ල කරන ලද හතරේ පහරත් සමඟ සිය ප්‍රාහාරත්මක ඉනිම ආරම්භ කළේය. ශානක එල්ල කරන ලද එම හතරේ පහරට පෙර යවන ලද පන්දු 15 ටම ග්‍රේස් පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 14 ක් පමණක් වන අතර ඒ අතරට එකම හෝ දැවැන්ත පහරක් ඇතුළත් නොවීය. අවසන් පන්දුවාරය යැවූ අසිත ප්‍රනාන්දුව අන්ත අසරණත්වයට ඇද දැමූ ශානක එම පන්දුවාරයේදී  4, 4, 0, 6, 4, සහ 2 වශයෙන් ලකුණු 20 ක් උදුරාගත්තේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවටත් සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකය පේන මානයටත් රැගෙන යමිනි.

මෙම ඉනිමත් සමඟ තරග 6 කදී මුලු ලකුණු 258 ක් රැස් කළ දසුන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූවේය. ඉලිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 64.50 ක් රඳවා තබාගත් දකුණත් පිතිකරුවා ප්‍රහාරාත්මක වේගය 184.28 ක් රඳවා තබා ගැනීමටද සමත්වූවේය. පිතිකරණයට අමතරව පන්දු යැවීමෙන්ද කඩුලු 3ක් දවා ගැනීමට සමත්වීම නිසා තරගාවලියේ වීරයා සම්මානයෙන් ග්‍රේස් නායක දසුන් ශානක පිදුම් ලැබීය.

පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී කඩුලු 2 කට ලකුණු 44 ක් රැස් කරගෙන සිටි ග්‍රේස් කණ්ඩායමට මෙතරම් ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ප්‍රධානම අඩිතාලම එක් කරන ලද පිතිකරුවා බවට පත්වූයේ ආරම්භක පිතිකරු මිනෝද් භානුකය. මූලික වටයේදී පිතිකරුවකු ලෙස එතරම්ම කැපී පෙනීමට අසමත් වුවත් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වුණු මිනෝද් භානුක හතරේ පහර 12 ක් සමග පන්දු 51 කදී වේගවත් ලකුණු 74 ක් එක් කරමින් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඉනිමේ කොඳු නාරටිය බඳු වූ මිනෝද්ට, නුවනිඳු ප්‍රනාන්දු ලබා දුන් සහයෝගය මිල කළ නොහැක.

අකිල ධනංජයගේ සුපිරි පන්දු රැකීම හමුවේ චරිත් අසලංක දුවද්දී දැවී යෑමකට හසුවූයේ ආරම්භක පිතිකරුවා වුණු කමිල් මිශාරගේ දැවී යෑමෙන් පන්දු 6 කට පසුවය. ලකුණු 3 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් දෙදෙනාම දැවී යෑම නිසා සුපුරුදු ස්ථානයෙන් පන්දුවට පහර දෙනවා වෙනුවට නායක දසුන් ශානකගේ තීරණය වූයේ නුවනිඳු ප්‍රනාන්දුව එම ස්ථානයෙන් පන්දුවට පහර දීමට යැවීමය. නායකයාගේ බලාපොරොත්තු අකුරටම ඉටු කළ නුවනිඳු තෙවැනි කඩුල්ල සඳහා භානුක සමඟ එක්ව පන්දු 58 කදී ලකුණු 82 ක් සම්බන්ධතාවක් එක් කළහ. හතරේ පහර 5 ක් පමණක් තම ඉනිමට ඇතුළත් කරගත් නුවනිඳු නායක දසුන් සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක් රැස් කළේ පන්දු 26 ක් පමණක් වැය කරමිනි.

පන්දු 36 කදී ලකුණු 47 ක් රැස් කළ නුවනිඳු භානුක සමඟ ගොඩනංවන ලද තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය සඳහා පන්දු 21 කදී ලකුණු 23 කින්ද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වූ සම්බන්ධතාවයේදී පන්දු 15 කදී ලකුණු 24 කින් දායකත්වය ලබා දුන්නේය. පන්දු යැවීමේදී නායක චන්දිමාල් ඒ සඳහා 7 දෙනෙකු යොදා ගනු ලැබුවද ඉන් නායකයාගේ බලාපොරොත්තුව ඉටු කරන ලද්දේ අකිල ධනංජය පමණි. ඔහු තම පන්දුවාර 4 දී ලකුණු 24 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් බිඳ හෙළුවේය. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන පන්දු යවන්නන් සිව්දෙනා වන අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්නට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කළ ග්‍රේස් පිතිකරුවෝ ඔවුන්ගේ පන්දුවාරයකට ලකුණු 10 කට වැඩියෙන් වූ වේගයක් රඳවා ගෙන ලකුණු රැස් කළහ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest