slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2021
ඕමාන්ට එරෙහි සටන හෝරා කීපයකින්

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ඕමානයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වැන්න සඳහා ශ්‍රී ලංකා පිල අද (07 වැනිදා) පස්වරුවේ සත්කාරක ඕමාන් පිල මුණ ගැසෙනු ඇත. ඕමාන් ක්‍රිකට් පුහුණු විද්‍යාතයන පිටියේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.00 ට ආරම්භ වේ.

මෙම තරගාවලියෙන් පසුව කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරන නමුත් එම තරග වටයේ දෙපිළ එදිරිවාදීහු නොවෙති. ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඕමාන් බලා පිටව ගොස් සිටින නමුත්, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවිය හැක්කේ ඉන් 15 දෙනෙකුට පමණි.

ඉතිහාසයේ පළමු වතාවට ඕමානය මුණ ගැසෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ලබන මෙම තරග 2 කට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල ඇඟ උණුසුම් කර ගැනීම අරභයා තවත් පුහුණු තරග දෙකකට සහභාගිවනු ඇත. එහෙත් එයට සහභාගිවිය හැක්කේ ඔක්තෝබර් 10 වැනිදා වන විට නම් කළ යුතු අවසන් සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනාට පමණි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශයක් බවට පත්ව තිබෙන අවසන් කණ්ඩායමේ සාමාජිකයින් 15 දෙනා තෝරා ගැනීම සඳහා ද අදින් ඇරඹෙන මෙම තරගාවලිය ඉතා වැදගත් වනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2019 වසරේ පවත්වන ලද විස්සයි-20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 6 වැනි ස්ථානය දිනා ගනිමින් 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටය නියෝජනය කිරීමට වරම් දිනා ගත් ඕමාන කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ‘බී’ කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතය. බංග්ලාදේශය, පැපුවා නිව් ගිනියාව සහ ස්කොට්ලන්තය එම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වෙති.

ප්‍රතිවාදී ඕමාන් කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කිරීමේදී සීෂාන් මක්සූද් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරයි. 1996 වසරේ ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා  කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරන ලද දුලිප් මෙන්ඩිස් මහතා ඕමාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් ශ්‍රී ලංකා පිලේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රුවන් කල්පගේ මහතා එහි උපදේශකයකු ලෙසින් කටයුතු කරන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව ඔවුන් තුළ සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් පවතියි.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ඉක්මවාලීම වෙනුවෙන් මීට වසර 2 කට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජිකයන් වැඩි කොටසක් අද තරගයට සහභාගිවන ඕමාන කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ඔවුන් සතු ප්‍රධානම අවිය වන්නේ දඟ පන්දු යවන්නන් වන අතර එහිදී අයාන් ඛාන් සහ නෙස්ටර් දම්බා වැඩි විශ්වාසයක් තබා සිටිති.

ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් නම් දරා සිටින ඛවාර් අලී පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කිරීමට අමතරව පා දඟ පන්දු යවන්නකු ලෙසද කටයුතු කිරීම හේතුවෙනි. සමස්ථයක් ගත් විට ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් වරට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරග වලදී මැණික් කටුවේ ආධාරයෙන් පන්දු යවන ක්‍රීඩකයින් වූ යුස්වේන්ද්‍ර චෙහෙල්, රාහුල් චහර් මෙන්ම දකුණු අප්‍රිකානු පිලේ ටබ්‍රේස් ශම්සි හමුවේදී දැඩි පසුබෑමක් පෙන්නුම් කළහ. මෙය අද තරගයේදී වාසියක් කර ගැනීමට ප්‍රතිවාදීන් මාන බලනු නොඅනුමානය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වනු ලබන්නේ ප්‍රධානම දඟ පන්දු යවන්නා සහ වේග පන්දු යවන්නා වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර රහිතවය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ උරහිසේ ආබාධය සුව අතට පත්වී තිබෙන නමුත් පුහුණු තරගයක් බැවින් ඔහුගේ සහභාගිත්වයද මෙම තරගයේදී අවිනිශ්චිත වනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර පුහුණුකරු මිකී ආතර් මහතා පිතිකරණ ලැයිස්තුවේ වෙනසක්ඳ සිදුකරන බව සඳහන්හ කර සිටි අතර ඒ සඳහා වන හොඳම අවස්න්ථාව වන්නේද අද ඇරඹෙන තරගාවලිය වේ. එහිදී පිතිකරණ අනුපිළිවෙළ සකස් ගැනීම පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වය අද දිනයේදී වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග, මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්.

ඕමාන් කණ්ඩායම – සීෂාන් මක්සූඩ්, අකීබ්ි ඉල්යාස්, ජතින්දර් සිං, ඛවාර් අලී, මොහොමඩ් නදීම්, අයන් ඛාන්, සුරාජ් කුමාර්, සන්දීප් ගෞඩි, නෙස්ටර් දම්බා, ඛාලි මුල්ලා, බිලාල් ඛාන්, නසීඹ් කෞෂි, සුෆියාන් මෙහ්මූද්, ෆයාස් බට්, කුරාම් ඛාන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee