slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2021
අවසන් 12 ට කළින්ම යන්න තීරණාත්මක සාධකය කාසියේ වාසියද…?

sinhala editor

By Chamila Karawita

තරගයක් හෝ දෙකක් අසාර්ථක වූ පමණින් ක්‍රීඩකයින් මාරු නොකරන ප්‍රතිපත්තියක තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් කටයුතු යොදා තිබේ. එබැවින් අයර්ලන්තයට එරෙහිව ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙන තරගය සඳහාත් ලෝක කුසලාන සටන ආරම්භ කරමින් නැමීබියාවට එරෙහිව තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනාම ක්‍රීඩා කරනු ඇත. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට නියමිත කණ්ඩායම් අතර වැඩිම අභියෝගයක් එල්ල විය හැකි යැයි අනුමාන කළ හැකි කණ්ඩායම වන්නේ අයර්ලන්ත කණ්ඩායමයි.

නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාව ජය වාර්තා කරද්දී අයර්ලන්තය විසින් නෙදර්ලන්තය පරදවා හෙට තරගයට අපරාජිතව මුහුණ දීමේ සූදානමින් පසුවේ. දෙපිළම සහභාගිවූ තරග දෙකේදී කඩුලු 7 ක ජයග්‍රහණ වශයෙන් වාර්තා කරගෙන සිටීමද කැපි පෙනෙයි. කෙසේ වෙතත් මේ කණ්ඩායම් දෙක අතුරින් හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදී නිසැකවම සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. එබැවින් හෙට තරගය ජය ගනිමින් වේලාසනම සුපිරි කණ්ඩායම් අතර තරග වටයට සුදුසුකම් ලැබීම සදහා කණ්ඩායම් දෙකම හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත.

මහේල ජයවර්ධන කණ්ඩායමේ උපදේශකයකු ලෙස එක්වීමත් සමඟ පිතිකරණ ලැයිස්තුවේ පමණක් නොව කණ්ඩායම ක්‍රීඩකයින් තුළද ඇත්තේ උද්දාමයකි. මෙතෙක් කලක් පිතිකරණ ලැයිස්තුවේ අනුපිළිවෙළ සම්බන්ධව තිබුණු ගැටළුවට විසඳුම් ලබාදීම එම උද්දාමයේ ප්‍රධාන කරුණක් බවට පත්ව තිබේ. ඒ වෙනුවෙන් සිදුකරන ලද වෙනස් කම් අතර ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන ලද අවිෂ්ක ප්‍රනාන්දුට වැඩි වගකීමක් ලබා දී ඔහුව අංක 4 පිතිකරණ ස්ථානයට රැගෙන එන විට අංක 3 ස්ථානයේ පන්දවට පහර දෙමින් සිටි භානුක රාජපක්ෂව නොම්බර 5 ස්ථානය සඳහා යොදවා තිබේ. ඒ අතර ආරම්භක පිතිකරුගේ ස්ථානය සඳහා පැතුම් නිස්සංකට වැඩි විශ්වාසයක් ලබා දුන්නද පළමු තරගයේදී ඔහුට බලාපොරොත්තු වූ යුතු කම ඉටු කිරීමට නොහැකි විය.

තරගයක් අසාර්ථක වූ පමණින් කණ්ඩායමෙන් ක්‍රීඩකයකු ඉවත් කරන්නේ නම් එය ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවයට සෘජුවම බලපාන බව සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ලෝක කුසලාන තරගාවලියට හැඩ ගැසීම සඳහා පුහුණුවීම් ආරම්භ කර දිනයේ පටන් මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලද සියලුම තරග වලදී දිගින් දිගටම දිගටම ක්‍රීඩකයින්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු යෙදවීය.

පළමු තරගයට ක්‍රීඩා කළ කුසල් පෙරේරා තවමත් ලකුණු අතරට නොපැමිණීම කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යෑමට වැඩි බලපෑමක් ඇති කරනු ලබයි. කණ්ඩායමේ වේගයෙන්ම පන්දුවට පහර දිය හැකි පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන කුසල් නැමීබියානු තරගයේදී හතරේ පහර 2 ක් එල්ල කරමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගත්තද දීර්ඝ ඉනිමක් ගොඩ නැංවීමට අපොහොසත් විය. චන්දිමාල්ද ඒ ඔරුවේමය. කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන චන්දිමාල් ලකුණු අතරට පැමිණියහොත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සැලකිය යුතු දුරකට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකාවට නිසැකවම හිමිවේ.

පන්දු යවන්නකු ලෙස ළහිරු කුමාර උපරිම රිද්මයට පැමිණීමත් දුෂ්මන්ත චමීරත් චාමික කරුණාරත්නත් ඉතා හොඳින් පන්දු යැවීම, නැමීබියා තරගයේදී කැපී පෙණින. වියළි තණතීරුවක් වන අබුඩාබි තණතීරුවේදී වුවද පැයට කිලෝ මීටර 149 ක වේගයකින් යුත් පන්දු යැවීමට චමීර සමත් වද්දී ඒ තරම්ම වේගයක් නැතත් නැමීබියානු පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ළහිරු කුමාර සමත්විය.

ටෙස්ට් වරම් හිමි රටවල් අතර ශ්‍රී ලංකාව හැරුනු විට මෙම කාණ්ඩයේ සිටින අනෙක් එකම කණ්ඩායම වන්නේ අයර්ලන්තයි. නෙදර්ලන්තයට එරෙහිව සඳුදා පැවැති තරගයේදී අයර්ලන්ත පන්දු යවන කර්ටිස් කැම්පර් පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වීම නිසා වෙනදාට වඩා වැඩි අධිෂ්ඨානශීලීත්වයක් ඔවුන් තුළ ගොඩ නැගී තිබේ. ඇන්ඩෘ බාබිරන්ගේ නායකත්වයෙන් යුතු අයර්න්ත කණ්ඩායමේ පබලම පිතිකරුවා වන්නේ ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලිංග්ය. ඔහුට නොදෙවැනි දක්ෂතාවයකින් යුතු කෙවින් ඕබ්‍රියන් කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කරයි. පැවැති තරගයේදී ඕබ්‍රියන් දක්ෂතා අතරට නොපැමිණීයද පෝල් ස්ටර්ලිං ලකුණු 30 ක් ලබා ගත්තේය. ලබාගත යුතු ඉලක්කය ලකුණු 107 ක් වූ බැවින් හඹා යෑමේදී ඔවුන්ට අනවශ්‍ය වේගයක් රඳවා ගැනීමේ තද බල අවශ්‍යතාවයක් පැන නොනැඟි නමුත් අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ගැරත්  ඩෙලනි හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 29 කදී වේගවත් ලකුණු 44 ක් ලබා අයර්ලන්ත ජයග්‍රහණය ඉක්මන් කළේය.

රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිත මෙම තරගයේ ප්‍රථිඵලය සඳහා කාසියේ වාසිය තීරණාත්මක සාධකයකි. එය මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට එතරම් යහපත් ලෙසින් දායකත්වය ලබා නොදෙයි. මේ ක්‍රීඩාංගණයේ මෙතෙක් පැවැති තරග අධ්‍යයනය කිරීමේදී ඒ පිළිබඳව පැහැදිළි තක්සේරුවක් ලබාගත හැක.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය මීට පෙර එක් අවස්ථාවකදී තරග වැදී තිබෙන අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවෙන් ලැබෙන අභියෝගයන් අතර සැලසුම් හැදීමේදී මීට පෙර වනිඳු හසරංග පිළීබඳව ප්‍රතිවාදීන් වැඩි අවධානයක් යොමුකර සිටියත් මහීෂ් තීක්ෂණත් දක්ෂතා අතරට පැමිණීමට සමත්ව සිටින නිසා ඔහු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුනට සිදුව තිබේ. පන්දු යැවීම ගත් විට පන්දු රැකීමේදී පිටිය තුළ ඉතා හොඳ විශ්වාසයක් ගොඩ නැගී තිබීම කණ්ඩායමක් ලෙස සුභ දායී කරුණකි.

ශ්‍රී ලංකා පිල – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිනේස් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු.

අයර්ලන්ත පිල – පෝල් ස්ටර්ලිංග්, කෙවින් ඕ බ්‍රියන්, ඇන්ඩෘ බල්බරින්, ගෙරත් ඩෙලනි. හැරි ටෙක්ටර්, ලෝකන් ටකර්, බෙන් වයිට්, ක්‍රෙග් යන්, ෂෙන් ගෙට්කේට්, ග්‍රැහැම් කෙනඩි, බැරී මැකර්ති

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest