slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2021
‘මෝගන්’ව සලිත කළ ශ්‍රී ලංකාව අවසන් සටනට සැරසෙයි

sinhala editor

By Chamila Karawita

විස්සයි-20 ලෝක කුසලාන ගමනේ අවසන් කඩ ඉමට තව දින 10 කි. තරගාවලිය ඒ දක්වා ඇදී ගියද ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ පැවැත්වෙන තරගයෙන් පසු සිය ලෝක කුසලාන ගමන හමාර කරනු ඇත. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හෙට (04 දා) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිත නමුත්, එහි ප්‍රතිඵලය කෙතරම් වාසිදායක වුවත් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ඉන් වන කිසිම බලපෑමක් නොමැත.

සුදුසුකම් ලැබීමේ තරග වටයේදී සහ සුපිරි කණ්ඩායම් 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී අති විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් වුවද ඔස්ට්‍රේලියාවට, දකුණු අප්‍රිකාවට සහ එංගලන්තය හමුවේ ලද පරාජයන් හේතුවෙන් අකමැත්තෙන් වුවද හෙට තරගයෙන් පසු ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවතට යෑමට ප්‍රධාන හේතු වී තිබේ. පරාජයන්වලට මුහුණ දුන්නද අත්දැකීම් අතින් ළාබාල ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් එම තරග වලදී ලබා දුන් තරගකාරීත්වය බොහෝ දෙනාගේ පැසසුමට පාත්‍ර වී තිබේ.

මෙහිදී බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ එංගලන්තයට එරෙහි පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දියත් කරන ලද ක්‍රීඩා විලාශය පිළිබඳවය. අත්දැකීම් අතින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වඩා ගව් ගාණක් ඉදිරියෙන් සිටින එංගලන්ත කණ්ඩායම එම තරගයට සහභාගිවූයේ ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග පහසුවෙන් ජය වාර්තා කරමිනි. කොදෙව් කණ්ඩායම ලකුණු 55 කට සීමා කිරීම, බංග්ලාදේශයට එරෙහි තරගය පන්දුවාර 14 ක් ඇතුළත  ජය ගැනීම සහ ඔස්ට්‍රේලියාව ලබා දුන් ලකුණු 125 ක ඉලක්කය 12 වැනි පන්දුවාරය අවසන් වීමටත් මත්තෙන් ජය ගැනීමට සමත්ව සිටීම නිසා බොහෝ දෙනාගේ අදහස වූයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඔවුන් පහසුවෙන් ජය ගැනීමට හැකිවනු ඇති බවයි. එහෙත් එංගලන්ත කණ්ඩායමට මුහුණදීමට සිදුවූයේ කිසි විටෙකත් නොසිතූ සිදුවීමකයට. ඔවුනට ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජය ගැනීමට වැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වුණු තර්ජනය පිළිබඳව මේ වන විටත් අවසන් පූර්ව තරග වරම් දිනාගෙන සිටින එංගලන්ත නායක එයන් මෝගන්ගේ වචන වලින්ම මේ අයුරිනි. “අපි වෙනත් කිසිම කණ්ඩායමක් ලබා දුන්නට වඩා තරගයක් ශ්‍රී ලංකාව මේ තරගයේදී අපිට ලබා දුන්නා. ඒ වගේ කිසිම කණ්ඩායමක් අපිව තරගයේ අවසානයට අරන් ගියේ නෑ.  බලාපොරොත්තු වූවාට වඩා ඔවුන් මේ තරගාවලියේදී දක්වලා තියෙන දක්ෂතා ඇදහිය නොහැකි මට්ටමේ පවතිනවා. ඇත්තටම මේ වන විට ඔවුන් දක්වලා තියෙන ඇදහිය නොහැකි මට්ටමේ දක්ෂතා පිළිබඳව ඔවුන් ගොඩක් ආඩම්බර විය යුතුයි. කොහොම වුණත් සිව්වැනි ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා” යැයි තරගයෙන් අනතුරුව මෝගන් පැවැසීය.

විස්සයි-20 ජගත් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පිතිකරුවා වන ඩේවින් මලාන් ඇතුළු ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු 36 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වීම කැපී පෙනුණි. ඉන් නොනැවතුණු ඔවුහු 12 වැනි පන්දුවාරය වන තෙක්ම එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 61 කට නවතා ගැනීමට සමත්වූහ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ළාබාළයන් වුවත් මෙම තරගය ඇතුළු සෙසු තරගවල දක්වන ලද දක්ෂතා හේතුවෙන් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සම්බන්ධව වැඩි දෙනාගේ අවධානය යොමුවීමට හේතු වී තිබේ.

පූර්විකාවේ සඳහන් කළ පරිදි හෙට තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බල නොපෑවද තවමත් තරග 3 කට ක්‍රීඩා කර ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තවමත් අවසන් කණ්ඩායම් 4 අතරට යෑමේ සියුම් අවස්ථාවක් පවතියි. කෙසේ වෙතත් හෙට තරගයේ ජය වැඩි ලකුණු වේගයකින් යුතුව ජය ගැනීමට කොදෙව් පිලට හැකියාව තිබුණහොත් තරගාවලියේ ඉදිරිය පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.

අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වන මෙම තරගය ජය ගැනීම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ස්ථානයකට පැමිණීමට ශ්‍රී ලංකාවට වැදගත් වේ. බංග්ලාදේශයට පමණක් ජය වාර්තා කිරීමට සමත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට එරෙහි තරගය ජය ගත හොත් පළමු කාණ්ඩයේ පහසුවෙන්ම සිව්වැනි ස්ථානයට පැමිණෙමින් තරගාවලිය අවසන් කිරීමට සමත්වනු ඇත. එමෙන්ම දෙරට අතර විස්සයි-20 තරග අතර වැඩිම ජයග්‍රහණයක් වාර්තා කරන ලද කණ්ඩායම බවටද ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවේ. දෙරට අතර ඉතිහාසයේ අවස්ථා 14 කදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අවස්ථා 7 ක බැගින් සම ජයග්‍රහණ වාර්තා කර ගෙන සිටිති.

විස්සයි-20 තරග අංශයේ අංක 1 පන්දු යවන්නා බවට පත්ව සිටින වනිඳු හසරංගට ඉදිරියට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට හෙට තරගය හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ. ප්‍රසාද ලකුණු අතර ලකුණු 6 ක පිටුපසින් සිටින ටබ්‍රේස් ශම්සිගේ දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතරට තේරීමේ වැඩි අවස්ථාවක් පවතින හෙයින් වනිඳුට වඩා වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශම්සිට හිමිවේ. එබැවින් හෙට තරගයේදී උපරිම දක්ෂතාවයට පැමිණ වැඩි කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීම අංක 1 පන්දු යවන්නාගේ ස්ථානය තවදුරටත් රැක ගැනීමට වනිඳුට උදව් වනු ඇත.

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්.

බටහිර ඉන්දීය කොදෙව් – ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, රොස්ටන් චේස්, නිකොලස් පූරාන්, ශිම්රන් හෙට්මේයර්, කිරන් පොලාර්ඩ් (නායක), ඇන්ඩ්‍රෙ රසල්, ජේසන් හෝල්ඩර්, ඩ්වයින් බ්‍රාවෝ, අකීල් හොසේන්, රවී රාම්පෝල්, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, ලෙන්ඩ්ල් සිමන්ස්, ඕෂේන් තෝමස්, හේඩ්න් වෝල්ෂ්.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee