slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2021
අවසන් තරගය පැරදුණත් ශ්‍රී ලංකා යෞවනයෝ එක්දින තරගාවලිය ජය ගනිති

sinhala editor

ආසියානු සහ ලෝක කුසලාන තරගාවලි සඳහා සූදානම්වීම අරමුණු කොට ගෙන පවත්වන ලද එංගලන්ත යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති අවසන් එක්දින තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද (10 දා) සමත්විය. කෙසේ වෙත්ත තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්විය.

අවසන් තරග 3 ම ජයගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හිමි වුවත් එය හඹා යෑමේදී පන්දුවාර 35.1 කදී ලකුණු 166 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. පළමු පන්දුවේන්ම ෂෙවෝන් ඩැනියෙල්ව දවා ගත් ප්‍රෙස්ට් ශ්‍රී ලංකා හඹා යෑමට අසුභ පෙර නිමිත්තක් එක් කළේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සදීෂ රාජපක්ෂ පමණක් ලකුණු 50 සීමාව ඉක්මවා ගිය අතර අභිෂේක් ලියනආරච්චි (24) සහ සකුන ලියනගේ (20) පමණක් ලකුණු 20 සීමාව ඉක්මවාලූහ.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු ටොම් ප්‍රෙස්ට් දැවී ගිය කඩුලු 10 න් 6 ක්ම තම ඉදිරියෙන් සනිටුහන් කර ගැනීමට සමත්වූවේය. ආරම්භක පන්දුවාරයේ සිට පන්දු යැවූ එංගලන්ත නායකයා, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ සමඟ සම තැන් ගැනීමටද සමත්වූවේය. වෙල්ලාලගේ අද තරගයට සහභාගි නොවුණත් සමස්ථ තරගාවලියේ කඩුලු 9 ක් බිඳ හෙළීමට ඔහු සමත්වූවේය. ඔහු සමඟ සම තැන් ගෙන සිටින එංගලන්ත නායකයා ඒ සඳහා තරග 5 කට ක්‍රීඩා කළේය.

තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගෙන තිබූ හෙයින් අද තරගය මෙහෙයවීමේ වගකීම උපනායක රවීන්ද සිල්වාට පැවැරී තිබුණි. කාසියේ වාසිය දිනා ගත් රවීන් පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. 15 වැනි පන්දුවාරය වන විට එංගලන්ත ඉනිමේ පළමු පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 48 කට දවා ගත් විනුජ රන්පුල් සහ සදීෂ රාජපක්ෂ තාවකාලික නායකයා ගනු ලැබූ තීරණය සාධාරණීයකරණය කිරීමට සමත්විය. අනතුතුරුව ග්‍රහණය තර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 20වැනි පන්දුවාරය වන විට තවත් කඩුලු 2 ක් දවා ගත්තේ එංගලන්ත පිල ලකුණු 96 කට කඩුලු 6 ක් වශයෙන් අසරණ කර දමමිනි.

සෙසු පිතිකරුවන් දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කරගත් ආරම්භක පිතිකරු විලියම් ලක්ස්ටන් 7 වැනි කඩුල්ල සදහා පැමිණි ඇලෙක්ස් හෝටන් සමඟ එක්ව එංගලන්ත ඉනිම ගොඩ ගත්තේ 93 ක් එක් කරමිනි. ඉනිමේ කොඳුනාරටිය බඳු එම සම්බන්ධතාවයේදී ලක්ස්ටන් ලකුණු 83 ක්ද හෝර්ටන් ලකුණු 36 ක්ද ලබා ගත්හ. 10 වැනි පිතිකරුවා ලෙසින් පැමිණි තෝමස් අස්පින්වෝල් නොදැවී ලකුණු 20 ක් රැස් කර ගත්තේය.

තරගාවලිය අවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ තරගාවලියේ වීරයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. තරග 4කට සහභාගිවූ වෙල්ලාලගේ පිත්තෙන් ලකුණු 139 ක් සහ පන්දු යවමින් කඩුලු 9 ක් දවාලමින් ශ්‍රී ලංකා යොවුන් පිල තරගාවලි ජයග්‍රහණය සඳහා රැගෙන ගියේය.

එහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායකයා, මෙවැනි තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමා ස්තූතිවන්ත වන බව සඳහන් කර සිටියේය. තරගාවලි ජයග්‍රහණය පිළිබඳව කරන ලද ප්‍රශ්න කිරීමේදී ඉහත අදහස් පළ කර සිටි වෙල්ලාලගේ, සෑම තරගයකදීම අඩුපාඩු අවම කරගෙන තරග වැදීම තරගාවලි ජයග්‍රහණයට හේතුවූ බවද වැඩිදුරටත් පවසා සිටියේය.

ජයසංකේත ප්‍රධානයේදී තරගයේ වීරයා සම්මාන දිනාගත් ක්‍රීඩකයින් මෙසේය.

පළමු එක්දින තරගය – ජොෂුවාබොයිඩ්න්

දෙවැනි එක්දින තරගය – පවන් පතිරාජ

තෙවැනි එක්දින තරගය – දුනිත් වෙල්ලාලගේ

සිව්වැනි එක්දින තරගය – රවීන් ද සිල්වා

පස්වැනි එක්දින තරගය – තෝමස් ප්‍රෙස්ට්

තරගාවලියේ වීරයා – දුනිත් වෙල්ලාලගේ

ලකුණු සාරාංශය

එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුනු 214 යි – (විලියම් ලක්ස්ටන් 84, ජෝර්ජ් තෝමස් 17, රෙහාන් අහමඩ් 14, ඇලෙක්ස් හෝටන් 36, තෝමස් ඇස්පින්වෝල් 20*, විනුජ රන්පුල් 45/4, සදීෂ රාජපක්ෂ 17/2, මල්ෂ තරුපති 37/1, රවීන් ද සිල්වා 44/1)

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 35.1 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (සදීෂ රාජපක්ෂ 66, සකුණ ලියනගේ 20, අබිෂේක් ලියනාරච්චි 24, රවීන් ද සිල්වා 13, ටොම් ප්‍රෙස්ට් 41/6, තෝමස් ඇස්පින්වෝල් 22/2, බෙන්ජමින් ක්ලිෆ් 29/1, ජේම්ස් කෝල්ස් 27/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar