slc
logo
Home   |    News
ජනවාරි 6, 2022
මූලික ඉලක්කය අර්ධ අවසන් තරග වටයට යෑමයි – අවිශ්ක ගුණවර්ධන

sinhala editor

By Chamila Karawita

පැය 30 ක වෙහෙසකර ගුවන් ගමනකින් පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නීරෝධායන කාල සීමාව ගත කිරීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියට පෙර පළමු වතාවට පුහුණුවීම් සඳහා හෙට (07 වැනිදා) දිනයේදී සහභාගිවනු ඇත.

ස්කොට්ලන්තයට එරෙහිව ලෝක කුසලාන පළමු සටන ආරම්භ කිරීමට පෙර නැමීබියාව සහ උගන්ඩාවට එරෙහිව  පුහුණු තරග 2 කටද සහභාගිවීමට නියමිත අතර එම තරග 10 වැනි සහ 12 වැනි දිනයන්හිදී ගයානාහි ජාතික ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

ඉකුත් මාස 4 ක ට ආසන්න කාලය ඇතුළත නේවාසික පුහුණු සැසි ගණනාවකට සහභාගිවීම හැරුණු කොට ආසියානු කුසලාන තරගාවලියේ තරග ඇතුළුව සමස්ථ තරග 14 කට සහභාගිවූ ශ්‍රී ලංකා පිල ඉන් තරග 11 ක් ජය ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කොදෙව් දේශයට ගොස් සිටියි.

“ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කරන්න නම් අපි අනිවාර්යයෙන්ම හොඳ කණ්ඩායම් පරාජය කරන්න සූදානමින් ඉන්න ඕන” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන අවිෂ්ක ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.  ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගුණවර්ධන මහතා ඉහත අදහස් පළ කර සිටියේය.

“මෙතැනදි වැදගත් වෙන්නේ අපි ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයේ තත්ත්වයන් වලට අනුගත වෙලා ක්‍රීඩා කරන එක” යැයි පවසන ගුණවර්ධන මහතා, “මූලිකම අරමුණ බවට පත්ව තියෙන්නේ අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමටයි” යැයිද සඳහන් කර සිටියේය.

“අපිට පළවැනි තරගයට කළින් පුහුණු තරග 2 කට ක්‍රීඩා කරනවා. අපිට එක පාරටම වර්ල්ඩ් කප් එක දිනනවා කියලා ප්ලෑන් කරන්න බෑ. පළමු බලාපොරොත්තුව තමයි අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන එක. මේ කණ්ඩායම ගත්තහම පසුගය මාස 4 දී ඇතුළත ගොඩක් දෙවල් දිනා ගැනීමට සමත් වෙලා තියෙන කණ්ඩායමක්. ඒ නිසා මම හිතනවා මේ කණ්ඩායමට යන්න පුලුවන් දුර වැඩි කියලා” යැයි සිය කණ්ඩායමේ විශ්වාසය පිළිබඳව ප්‍රධාන පුහුණුකරු අනාවරණය කර සිටියේය.

කණ්ඩායමේ සමස්ථය ගෙන බැලීමේදී සෑම අංශයක්ම අවශ්‍ය පමණට ශක්තිමත් බව ද සඳහන් කර සිටි ගුණවර්ධන මහතා, නිවැරදි කරගත යුතු දෙයක් වේ නම් පන්දුවට පහර දීමේදී පිතිකරුවන් දිගින් දිගටම දක්ෂතා අතර රැඳී සිටීම වැදගත් බවද පෙන්වා දුන්නේය.

“ඉතිං මම හිතන්නේ ගොඩක් දේවල් නම් හදාගන්න කියලා දෙයක් නෑ, පොඩ්ඩක් හරි වැඩි දියුණු කරගන්න ඕන නම් පන්දුවට පහර දීමේදී පිතිකරුවන් මීට වඩා දිගින් දිගටම දක්ෂතා අතරට පැමිණෙන්න ඕන කියන තැන මම ඉන්නවා. කොයි වෙලෙත් අපි කතා කරන්නේ පළවැනි පිතිකරුවන් පස්දෙනාගෙන් එක් කෙනක් ඕවර 40 හෝ 45 ක් වත් ක්‍රීඩා කරන්න ඕන කියන එක. ඒක සමහර තරගවල වෙනවා සමහර තරග වල වෙන්නේ නෑ. මොකද අපිට ඒ දේ කරගන්න පුලුවන් නම් ලෝකෙ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුලුවන් පන්දු බලඇණියක් අපිට ඉන්නවා. අපේ පිතිකරුවෝ ටික හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාලා දුන්නොත් මේ තරගාවලියේ ගොඩාක් දුරට අපිට යන්න පුලුවන් වේවි කියලා මම විශ්වාස කරනවා” යැයි අවිෂ්ක ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය. යොවුන්කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව 14 වැනිදා ආරම්භ වන තරගයට අමතරව 17 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟද 21 වැනිදා ඔස්ට්‍රේලියානු පිල සමඟද මූලික වටයේ තරගවලට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියි

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee