slc
logo
Home   |    News
ජනවාරි 15, 2022
ශ්‍රී ලංකාවට පැහැදිළි අරමුණක්

sinhala editor

Chamila Karawita reporting from Pallakale

2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් තේරීමේ තරග වටයට සහභාගිවීමෙන් වැළකී සිටීමට නම් පැහැදිළිවම 3-0 ක තරගාවලි ජයක අරමුණ ඇතිව සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව හෙට (16 වැනිදා) පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී සහභාගිවෙයි. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අයත් මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල තරග 15 කට සහභාගිව සිටින අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. තරග ජයග්‍රහණයේදී හිමිවන ලකුණු 40 ට (එක් තරගයකට 10 බැගින් වන සේ) අමතරව එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වීම නිසා හිමි ලකුණු 5 ද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 45 ක් හිමිව ඇතත්, මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් අහිමිවූ ලකුණු 3ත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 42 ක් ලබා සිටියි.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 8 පමණක් ලබන වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබන බැවින් එම කණ්ඩායම් 8 දෙනා අතරට පැමිණීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ. මෙම තරගාවලියද ඇතුළුව ශ්‍රී ලංකාවට  තවත් ඉතිරිව ඇත්තේ ඇෆ්ගනිස්තානයට එරෙහිව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 6 පමණි.

ප්‍රසාද ලකුණු 42 ක් සමඟින් ශ්‍රී ලංකාව එම සටහනේ හය වැනි ස්ථානයේ රැඳී සිටින නමුත්, ගැටළුකාරී තත්ත්වය වන්නේ පහළින් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා අඩු තරග සංඛ්‍යාවන් වලට සහභාගිවී සිටින රටවල් වීම හේතුවෙනි. ඒ අතර නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් වෙති.

මෙම තරග 3 ම ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 30 ක් හිමි වන අතර ඒ අනුව සමස්ථ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 42 සිට 72 දක්වා ඉහළ යනු ඇත. ප්‍රසාද ලකුණු 95 ක් ලබා සිටින එංගලන්තය එහි පළමු ස්ථානයේ රැඳෙද්දී, ප්‍රසාද ලකුණු 80 ක් සහ 60 ක් ලබා බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිති. ඒ අනුව ඉහතින් සඳහන් කළ අරමුණ සාක්ෂාත් කර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඔස්ට්‍රේලියාව සිව්වැනි තැන දක්වා තල්ලු කොට තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවේ.

හෙට තරගය ඉලක්ක කොට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15 දා) දිනයේදීද පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී  පුහුණුවීම් වල නිරත වුවත්, අනිවාර්යය නොවන පුහුණු සැසියක් හෙයින් ඒ සඳහා සියළුම සාමාජිකයින් පැමිණ නොසිටියහ. ඒ අතර, නායක දසුන් ශානක, දඟ පන්දු යවන්නන් වන රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සි, අෂේන් ඩැනියෙල්, සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර අද දිනයේ පුහුණුවීම් වලට සහභාගිවී සිටියහ.

තරගය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා එක්දින නායකයා දසුන් ශානක, ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස්ට පැවැරී තිබෙන බව සඳහන් කර සිටියේය. 26 හැවිරිදි මෙන්ඩිස්, ගෙවී ගිය මාස 6 ක කාලය ඇතුළත ජාත්‍යන්තර තරගයකට සහභාගිවී නොමැත. නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සමඟින් එංගලන්ත තරගාවලියේදී ජෛව බුබුල බිඳ දමන අයුරින් කටයුතු කළේ යැයි වරදකරුවන් වීම හේතුවෙන් මෙන්ඩිස්ට වසරක ජාත්‍යන්තර තරග තහනමක් පැනවූ අතර පසුව සිදුකරන ලද ඉල්ලීමකදී එය මාස 6 ක් දක්වා අඩු කිරීමට පියවර ගැනීම මත මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ වරම මෙන්ඩිස්ට හිමිවිය.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාධනය වීමත් මැද පෙළ පිතිකරු උප නායක ධනංජය ද සිල්වා පිතෘ නිවාඩු ගැනීමත් නිසා සංචිතයට එක්වීමට වරම් ලද කුසල් මෙන්ඩිස්ට හෙට දිනයේදී වැඩි කාර්යය භාරයක් පැවැරී තිබේ.

ඔහු සමඟින් තහනමට ලක් වූ නිරෝෂන් දික්වැල්ලවද අතිරේක ක්‍රීඩකයින්ට වෙන්වූ ලැයිස්තුව යටතේ කණ්ඩායමට කැඳවා තිබුණද හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ඔහුට නොමැත. එබැවින් චන්දිමාල් කඩුල්ල පිටුපස සිට රාජකාරි කටයුතු සිදුකිරීම පුදුමයක් නොවේ. පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කරද්දී කමිඳු මෙන්ඩිස් අංක 3 පිතිකරුවාගේ වගකීමද, දිනේෂ් චන්දිමාල් අංක 4 පිතිකරුවාගේ ස්ථානයෙන්ද ක්‍රීඩා කරද්දී චරිත් අසලංක සහ නායක දසුන් ශානක අංක 5 සහ 6 යන ස්ථානවල ක්‍රීඩා කිරීමට නියමිතය. සුපුරුදු පරිදි චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයාට වෙන්වූ අංක 7 ස්ථානයෙන් ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා පිල සතු හොඳම පන්දු යවන්නා වන වනිදු හසරංග කොමැති කණ්ඩායමේ පා දඟ පන්දු යවන්නාගේ ස්ථානය අවිවාදයකින් තොරවම ජෙෆ්රි වැන්ඩර්සිගේ නම ඉදිරියෙන් ලියැවෙනු ඇත.

මහීෂ් තීක්ෂණ අනෙක් ප්‍රධාන දඟ පන්දු යවන්නා බවට පත් වද්දී වේග පන්දු බල ඇණිය නුවන් ප්‍රදීප් විසින් බලගන්වනු ලබන අතර ඊට සහායකයා කවුරුන්ද යන්න ඇත්තේ චාමික ගුණසේකර සහ නුවන් තුෂාර අතර තරගයකි. ඉකුත්දා පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පල්ලකැලේ පැවැති සිව්දින තරගයේදී කඩුලු 6 ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට චාමික ගුණසේකර සමත්වීම නිසා හෙට දිනයේදී බොහෝ විට ඔහු එක්දින හිස් වැස්ම පැළඳීමට ඉඩ තිබේ. එසේ වුවහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනා ගනු ලබන 203 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනු ඇත.

ක්‍රෙග් අර්වින්ගේ නායකත්වය යටතේ මෙම තරග සංචාරය සඳහා පැමිණ සිටින සිම්බාබ්වේ කණ්ඩායම සතුව ප්‍රවීන ක්‍රීඩකයින් කිහිප පළක්ම වෙති. හෙට තරගය නායක අරවින්ගේ 100 වැනි එක්දින ජාත්‍යණ්තර තරගය වේ. ඒ අතර ආරම්භක පිතිකරු රෙගින් චකබ්වා, ෂෝන් විලියම්ස්, සිකන්දර් රාසා, මෙන්ම වෙලිංටන් මසකඩ්සා වෙති. කෙසේ වෙතත් ගෙවී ගිය කාල සීමාවේදී සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරග පිටියේ එතරම් ජය කෙහෙළි නැංවීමට අපොහොසත්ව සිටින කණ්ඩායමක් වේ. ඔවුන් ගෙවී ගිය වසරේදී ක්‍රීඩා කරන ලද එක්දින තරග 6 න් ජයගැනීමට සමත්ව සිටින්නේ එක් තරගයක් පමණක් වන අතර එයද අයර්ලන්තයට එරෙහිව වේ.

2020 වසරේ කොවිඩ් වෛසරය ව්‍යාප්තියෙන් පසු නැවතත් ක්‍රිකට් ආරම්භ කිරීමෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 9 කට සහභාගිවී ඇතත් ඉන් ජය ගෙන ඇත්තේ පාකිස්තානයට සහ අයර්ලන්තයට එරෙහිව එක් තරගය බැගිනි. මෙම තත්ත්වය මත සිම්බාබ්වේ කණ්ඩායම අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම යටතේ 14 වැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.

දෙරට අතර තරග ඉතිහාසයේදී අවස්ථා 57 කදී මුණ ගැසී තිබෙන අතර ඉනි 44 වතාවක් ශ්‍රී ලංකාවද 11 වතාවක් සිම්බාබ්වේද ජය වාර්තා කරගෙන සිටියි.

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – 1. කුසල් මෙන්ඩිස්, 2. පැතුම් නිස්සංක, 3. කමිදු මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල්, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. මහීෂ් තීක්ෂණ, 9. ජෙෆ්රි වැන්ඩර්සි, 10. නුවන් ප්‍රදීප්, 11. චාමික ගුණසේකර/නුවන් තුෂාර.

සිම්බාබ්වේ – 1. මිල්ටන් ෂුම්බා, 2. රෙගිස් චකබ්වා, 3. ක්‍රෙග් එර්වින්, 4. වෙස්ලි මැඩවියර්, 5. ෂෝන් විලියම්ස්, 6. සිකන්දර් රාසා, 7. රයන් බර්ල්, 8. ලුක් ජොන්ග්වේ, 9. වෙලිංටන් මසකඩ්සා, 10. බ්ලෙසිං මුසරාබානි, 11. රිචර්ඩ් නාරාවා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee